Friday, March 29, 2024

General line - 0115112241

නිතීපති සහ ගෝඨාභය එකඟතාවයකට පැමිණෙයි! ගෝඨාභයගේ පෙත්සමට අවසන් තීන්දුව දෙයි




ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 90 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව පොදු දේපල පනතේ ප්‍රතිපාදන අනුව පොලිසිය කටයුතු කිරීම සහ ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව පොලිසිය විසින් මේ වන විට පොදු දේපල පනත යටතේ ඉදිරිපත් කර ඇති සහතිකය හෝ ඒ සම්බන්ධයෙන් ඉදිරියේ ඉදිරිපත් කරන සහතික ද බලාත්මක නොවනු ඇත .

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර මෙම නියෝගය නිකුත් කළේ එම නියෝගය සඳහා නීතිපතිවරයාගේ සහ ගෝඨාභය රාජපක්ෂෙගේ නීතිඥවරු ඇති කරගත් එකගතාවයකට අනුමැතිය ලබා දෙමිනි .

තවද නීතිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරු ඇති කරගත් එකගතාවයකට අනුව ගෝඨාභය රාජපක්ෂ මේ මස 25 දා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින බවත් ඔහු අධිකරණයේ නොතීසි මත මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පෙනී සිටිනු ඇති බව දැනුම් දෙනු ලැබුවා . මෙම පෙත්සම යළි ජූලි 25 කැදවීමට නියමිතය .

මැදමුලන ප්‍රදේශයේ ඉදිකර ඇති ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය සමග සිවිල් ගිවිසුමක් අනූව කටයුතු කර ඇති බවත් එහි අපරාධමය චෝදනාවක් නොමැති බව පෙත්සම්කරු පවසා සිටියි . මෙම පෙත්සමින් පොලිස්පතිවරය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු පාර්ශවයන් පහක් නම් කර තිබුණා.