Friday, March 29, 2024

General line - 0115112241

කොටි සැඟවූ රත්‍රන් සොයා ගිය දකුණේ පිරිසක් ස්කෑනර් යන්ත්‍රයක්ද සමග අත්අඩංගුවට (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




එල් ටි ටි සංවිධානය අවසන් යුධ සමයේ කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල සැඟවු රත්රන් සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍රයක් ප්‍රවාහනය කළ සැකකරුවන් හතරදෙනෙකු අද (15) උදෑසන වවුනියාව නොච්චිමොටෙයි හිදී කාර් රථයක් සමඟ වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව පොලිසිය පැවසූවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ හදිසි මාර්ග බාධකයකදී අදාළ සැකකරුවන් සමඟ ස්කෑනර් යන්ත්‍රය අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි.

සැකකරුවන් අදාළ ස්කෑනර් යන්ත්‍රය යොදාගෙන පොළව යට පවතින ලෝහ සම්බන්ධයෙන් සොයා බැලීමට සුදානම්ව සිට ඇති බවද පොලිසිය අනාවරණය කොටගෙන තිබෙනවා.

අදාළ ස්කෑනර් යන්ත්‍රය ‍රුපියල් ලක්ෂ පනහක පමණ වටිනාකමින් යුතු වන බවද පොලිසිය සදහන් කළා.

පොලිසිය පැවසූවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මත හදිසි මාර්ග බාධකයක් යොදා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ ගම්පහ හා ඇඹිලිපිටිය ප්‍රදේශයන් හි පදිංචි පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා උපකරණ වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.