Friday, March 29, 2024

General line - 0115112241

ස්කොට්ලන්තයේ සුප‍්‍රකට පාසලක් දෙවන වරටත් ගින්නකින් විනාශ වෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ස්කොට්ලන්තයේ පිහිටි සුප‍්‍රකට ග්ලාස්ගෝ කලා පාසලේ හටගත් ගින්නකින් එහි මැකින්ටොෂ් ප‍්‍රධාන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ගොඩනැගිල්ල තුළ ඊයේ (15) රාති‍්‍රයේ හටගත් ගින්න සුළු වේලාවකින් අසල පිහිටි විශ්ව විද්‍යාලයක්, සංගීත ශාලාවකට සහ රාති‍්‍ර  සමාජ ශාලාවක් තුළටද ව්‍යාප්ත වි තිබුණා. ගින්නෙන් එම ගොඩනැගිලිවලට ද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 

ග්ලාස්ගෝ කලා පාසල තුළ ගින්නක් හටගත් දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර 2014 වසරේදී ද එම කලා පාසල තුළ මෙවැනිම ගින්නක් හටගත් අතර පාසලේ ප‍්‍රධාන ගොඩනැගිල්ලට ඉන් දැඩි ලෙස හානි සිදුවුණා. ඉන් අනතුරුව ඉදි කළ නව ගොඩනැගිල්ල තුළයි ඊයේ රාති‍්‍රයේ මෙලෙස යළිත් ගින්නක් හට ගෙන ඇත්තේ.

මීට පෙර හටගත් ගින්නෙන් විනාශ වූ ගොඩනැගිල්ල යළි ඉදි කිරීම සඳහා බලධාරීන් ස්ටර්ලින් පවුම් මිලියන 35ක් පමණ වැය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. නව ගොඩනැගිල්ල තුළ ඉදිකළ පුස්තකාලය ද ලබන වසරේ විවෘත කිරිමට කටයුතු සූදානම් කර තිබුණා. කෙසේවෙතත් ගින්න හටගැනීමත් සමග අවට පිහිටි නිවාස වල වෙසෙන වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා. ගින්නට හේතුව හෝ ඉන් සිදුවූ අලාභය මෙතෙක් අනාවරණ වී නැහැ.