Wednesday, April 24, 2024

General line - 0115112241

කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තියන්න ඇතුළෙන්ම උදවු ලැබිලා - වැඩිදුර පරීක්ෂණ ඇරඹෙයි (PHOTOS)

ජයකාන්ත ලියනගේ




කතරගම, කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට හා තවත් හිමි නමකට වෙඩිතබා බරපතල තුවාල කල සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා ඊයේ (16) රාත්‍රියේ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය මගින් බොරලැස්ගමුව, පැපිලියාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර  සැකකරුවන් තිදෙනා අද (17) තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවෙහෙර විහාර භූමියේ පිහිටි මහසෙන් දේවාලයේ ප්‍රධාන කපු ධූරය දරණ ලද බෝපේගෙදර අසේල ලක්මාල් බණ්ඩාර (40) සහ ජයවික්‍රම කංකානම්ගේ නුවන් කුමාර (24) සහ ඔහුගේ සහෝදරයා වන ජයවික්‍රම කංකානම්ගේ ප්‍රසාද් කුමාර (22) යන තිදෙනායි. 

මීට පෙරද වදුරු කලූවා නමින් හැදින්වෙන අයකු සහ කිරිවෙහෙර භූමියේ පිහිටි මහසෙන් දේවාලයේ සේවය කල රාලහාමි නමින් හැදින්වෙන අයෙකුද කතරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම රාලහාමි නැමැති අය ප්‍රධාන සැකකාර අසේල බණ්ඩාර නැමැති අයගේ අනියම් බිරියගේ ස්වාමි පුරුෂයා බවද වාර්තා පළ වනවා.

පසුගිය 12 වැනි දා රාත්‍රියේ කිරිවෙහෙර විහාරස්ථානයේ පියගැට පෙළ අසලදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා. එහිදී කොබවක ධම්මින්ද හිමියන් සමග කිරිවෙහෙර විහාරවාසී වීදාපොළ සෝභිත හිමියන්ද තුවාල ලැබුවා.

තුවාල ලැබූ ධම්මින්ද හිමියන් හා සෝභිත හිමියන් එම අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කෙරුණ අතර ඊට පසුදින ධම්මින්ද හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන විත් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කරනු ලැබුවා.

වීදාගම සෝභිත හිමියන්ද පසුව හම්බන්තොට රෝහලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන විත් තිබුණා.  

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අසේල බණ්ඩාර නැමැති අය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 08 ක් යොදවා තිබූ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් ප්‍රකාශ කළා. මේ සඳහා කතරගම පොලිසිය හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයද වෙනමම සෝදිසි මෙහෙයුම් දියත් කල බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට හා සෙසු අයට උදව් උපකාර කල මෙන්ම දුරකථන ඇමතුම් මගින් තොරතුරු සපයා ඇති කිරිවෙහෙර කාර්ය මණ්ඩලයේ තවත් කිහිප දෙනෙකු පිළිබඳවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව තව දුරටත් පරීක්ෂණ පවත්වන බවත් තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න ප්‍රකාශ කළා. අවශ්‍ය වුවහොත් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ඔහු අවධාරණය කළේ.

කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අලූත්වැව සෝරත නාහිමින් අපවත්වීමෙන් පසු හිස් වු විහාරාධිපති ධූරයට විහාරාධිපති හිමිනමක් පත්කිරීමේදී පාර්ශ්ව කිහිපයක්ම ඒ සඳහා ඉදිරිපත්ව සිට තිබෙනවා.

එහිදී කොබවක ධම්මින්ද නාහිමියන් විහාරාධිපති තනතුරට පත් කිරීමට සියම් නිකායේ මල්වතු පාර්ශ්වය තීන්දු කිරීමත් සමග විහාරාධිපති ධූරයට ඉදිරිපත් වු සෙසු පර්ශ්වයන් කොබවක නාහිමියන් සමග වෛර බැඳගෙන කටයුතු කරමින් සිට ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා. 

එයින් පසුව විහාරස්ථාන භූමියේ පිහිටි මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් වූ නඩුවකදී කොබවක ධම්මින්ද හිමියන් එයින් ජය ගැනීමත් සමග එහි ප්‍රධාන කපු මහතා සමග ආරවුලක්ද ඇති වී තිබුණා.

වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවා වන්නේද මෙම මහසෙන් දේවාලයේ හිටපු කපුවා වන බැවින් මෙම ආරවුල මත වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම් යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.