Friday, April 26, 2024

General line - 0115112241

යාපනය උණුසුම් කළ සිද්ධියේ 05ක් අත්අඩංගුවට (PHOTOS) (UPDATE)

හේමන්ත කහවලගේ/මාධව කුලසූරිය




යාපනයේ තෙලිප්පලේ මල්ලාකම් හංදියේදී පොලිස් නිලධාරීන්ව කඩුවලින් කැපීමට සූදානම් වන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තැබූ සිද්ධියේ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩලීමට යෑමේදී පොලිසියට මෙම අනපේක්ෂිත අවස්ථාවට මුහුණ දීමට සිදු වුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙපිරිස අතර ගැටුමට සම්බන්ධ 05 දෙනෙක්.

-----------------------------

යාපනයේදී පොලිසියට කඩුවලින් පහර දෙන්න ඇවිත් - පොලිසිය වෙඩි තබයි (PHOTOS) (UPDATE)

(18-06-2018 06:46)

 

 

යාපනය මල්ලාකම් ප‍්‍රදේශයේ දී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (17) රාත‍්‍රීයේ මෙම සිද්ධිය සිදු වුණේ මල්ලාකම් සහායමාතා දේවස්ථානයේ පැවති වාර්ෂික මංගල්‍ය අවස්ථාවේදීයි. 

රාජකාරී කටයුත්තක් සඳහා යාපනය චුන්නාකම් පොලිසියේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු තෙලිප්පලේ ප‍්‍රදේශයට යමින් සිටි අවස්ථාවේ මෙම සිද්ධිය සිදු වුණා. එහිදී තෙලිප්පලේ මල්ලාකම් හංදියේදී දෙපිරිසක් කඩු පොලූ රැගෙන නොසන්සුන් ලෙස හැසිරෙන අයුරු එම පොලිස් නිලධාරීන් දැක තිබෙනවා.

ඒ අවස්ථාවේ එය සමථයකට පත් කිරීමටයි ඔවුන් උත්සහ දරා ඇත්තේ. පොලිසිය පැවසුවේ එම ස්ථානයේ සිටි පිරිසක් පොලිස් නිලධාරීන් දෙදෙනාට කඩුවලින් පහරදීමට පැමිණ ඇති බවයි. ඒ අවස්ථාවේදී එක් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පැමිණි මල්ලාකම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවූස් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ එම ස්ථානයේ සිටි දෙපිරිස අතර නොසන්සුන් තත්වයක් හටගෙන ඇති බවට තහවුරු කළ හැකි සාක්ෂි පවතින බවයි. 

කඩුවලින් පහරදී හානි කළ යතුරුපැදියක් ද එහිදී සොයා ගැණුනා. එමෙන්ම කඩු පහරවලින් තුවාල ලැබූ දෙදෙනෙකු තෙලිප්පලේ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ තෙලිප්පලේ පොලිසියයි. 

මීට පෙර පොලිස් වෙඩි පහරකින් සරසවි සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය වාර්තා වූයේ ද යාපනය චුන්නාකම් වීදියේ බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 
 

----------------------------

යාපනයේ වෙඩි තැබීමක් - ප්‍රදේශයේ ආරක්ෂාව තර කරයි (PHOTOS)

(18-06-2018 05:46)

 

යාපනය, මල්ලාකම් හී ඊයේ (17) රාත්‍රියේ  වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

සහායමාතා දේවස්ථානයේ ඊයේ (17) රාත්‍රියේ පැවැත්වු ‍වාර්ෂික මංගල්‍ය අවස්ථාවේ සිදුවු මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා. අනතුරුව යාපනය ප්‍රදේශයේ ආරක්ෂාව තරකොට ඇති බවයි වාර්තා වුණේ.

යාපනය ප්‍රදේශවාසීන් පැවසූවේ කෝවිල් උත්සවය වෙනුවෙන් පැමිණි මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි පාක්‍යරාසා සුදර්ශන් නැමැති 31  හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මෙලෙස ප්‍රදේශයේ ආරක්ෂාව තරකොට ඇති බවයි.

මල්ලාකම් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් කැඳවා ඇති බවද සඳහන් කළා.

කෝවිල් උත්සවය ආරම්භ වීමෙන් අනතුරුව යාපනය චුන්නාකම් ප්‍රශදේශයේ හා යාපනය මල්ලාකම් ප්‍රදේශයේ තරුණයින් කණ්ඩායම් දෙකක් අතර නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන ඇති අතර, අදාළ අවස්ථාවේදී වෙඩි තැබීම සිදුකොට ඇති බව ප්‍රදේශවාසීන් පැවසූවා.