Thursday, April 25, 2024

General line - 0115112241

ඊ පාස්පෝට් මුද්‍රණය තවදුරටත් ගැටලුකාරී වෙයි

හේමන්ත කහවලගේ




මෙරට කි‍්‍රයාත්මක කිරීමට යෝජනා වී ඇති ඊ පාස්පෝට් සේවාව සම්බන්ධයෙන් තවදුරටත් ගැටලූකාරි තත්ත්වයක් පැන නැගී තිබෙනවා. ඒ, ආණ්ඩුවේ බලධාරීන්ගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපය හේතුවෙන්.

ඊට අදාළ ව්‍යාපෘතිය වැඩි මිලකට විදෙස් සමාගමකට ලබාදීමට බලධාරීන් උත්සහ දරන බවටයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ, රජයේ මුද්‍රණාලය මෙන්ම දේශීය සමාගමක් ද ඊ පාස්පෝට් ව්‍යාපෘතිය යටතේ ලබා දීමට නියමිත විදේශ ගමන් බලපත‍්‍රය අඩු මිලකට ලබා දීමට ඉදිරිපත්ව සිටියදී වීම විශේෂත්වයක්.

එහෙත්  බි‍්‍රතාන්‍ය සමාගමක් වෙත වැඩි මිල ගණන් යටතේ එම ව්‍යාපෘතිය පවරා දීමට බලධාරීන් උත්සහ දරන බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

2015 වසරේදී ඊ පාස්පෝට් ව්‍යාපෘතිය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක කිරීමට යෝජනාවුවද පසුව කැබිනට් අනුමැතිය යටතේ එය ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය වෙත පැවරුණා.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම ව්‍යාපෘතිය අදාළ අමාත්‍යාංශ දෙකේම මූලිකත්වයෙන් සිදු කිරීමටයි පසුව තීරණය කෙරුණේ. ඒ අනුව බි‍්‍රතාන්‍යයේ ඩිලාරූ නැමැති සමාගම වෙත එම ව්‍යාපෘතිය ලබා දීමට නිර්දේශ වී තිබෙනවා. එහෙත් එය සිදු කර ඇත්තේ තරගකාරී ටෙන්ඩර් ක‍්‍රමයෙන් බැහැරවයි. ඊට හේතුව ලෙස ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ ඩිලාරූ සමාගමේ සියයට 40ක අයිතියක් ආණ්ඩුව සතුව ඇති බවයි. 

කෙසේවෙතත් මෙම අවස්ථාවේදී රජයේ මුද්‍රණාලයද අදාළ සමාගමට වඩා අඩු මුදලකට ඊ පාස්පෝට් මුද්‍රණය සඳහා ඉදිරිපත්ව තිබෙනවා. එමෙන්ම දේශීය සමාගමක් ද ඊ පාස්පෝට් පතක් මුද්‍රණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබුණා. එහෙත් බලධාරීන් මෙම ආයතන දෙකේම යෝජනා ඉවත දමමින් ඩිලාරූ නැමැති බි‍්‍රතාන්‍ය සමාගමට මෙම ව්‍යාපෘතිය ලබා දීමට උත්සහ දැරීම ගැටලූ සහගත කරුණක්. 

දැනට මෙරට ව්‍යවහාර මුදල් මුද්‍රණය කරන්නේ ද ඩිලාරූ සමාගමයි. ඒ, තරගකාරී ආයතනවලට සාපේක්ෂව අධික මිලක් යටතේයි.

මීට පෙර බි‍්‍රතාන්‍ය විදේශ ගමන් බලපත‍්‍ර මුද්‍රණයට අදාළ කොන්ත‍්‍රාත්තුව ද ඩිලාරූ සමාගම විසින් සිදු කරනු ලැබුවා. එහෙත් එම සමාගම අය කරන අධික මිල ගණන් හේතුවෙන් එම කටයුතු ප‍්‍රංශයේ ජෙමැල්ටෝ නැමැති සමාගමක් වෙත පැවරීමටයි බි‍්‍රතාන්‍ය රජය තීරණය කළේ. ඒ අනුව වසරකට ස්ටර්ලින් පවුම් මිලියන 120ක පමණ මුදලක් ඉතිරි වන බව බි‍්‍රතාන්‍ය රජය ප‍්‍රකාශ කර තිබුණා. 

මේ ආකාරයෙන් අධික මිලක් යටතේ මෙරට විදේශ ගමන් බලපත‍්‍ර මුද්‍රණය ඩිලාරූ සමාගමට පැවරීමෙන් අධික මුදල් නාස්තියක් සිදුවිය හැකි බව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පෙන්වා දෙනවා.

පසුගියදා සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් යෝජිත ඊ පාස්පෝට් ව්‍යාපෘතිය රටට වාසි දායක අයුරින් කි‍්‍රයාත්මක කිිරීමේ අවස්ථාවක් උදාවී ඇති බව ද ඔවුන්ගේ අදහසයි. ඒ, ඊ පාස්පෝට් ව්‍යාපෘතිය අදාළ වන, ආගමන විගමන දෙපාර්තමේන්තුව අයත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය යටතට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද ඇතුළත් කිරිම හේතුවෙන්. 

ඒ අනුව ඩිලාරූ නැමැති බි‍්‍රතාන්‍ය සමාගම වෙත ඊ පාස්පෝට් මුද්‍රණය භාර නොදී රජයේ මුද්‍රණාලය මගින් එය කි‍්‍රයාත්මක කිරීමේ අවස්ථාවක් පවතින බවයි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.