Thursday, April 25, 2024

General line - 0115112241

කෝටි 95ක ජාතික අපරාධයක් වළකන්න කෘෂිකර්ම ඇමතිගෙන් සය පුද්ගල කමිටුවක්




කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන DPJ Tower ගොඩනැගිල්ලෙන් ඉවත් කර මින් පෙර එම අමාත්‍යාංශය පිහිටා තිබු බත්තරමුල්ල ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඊයේ (18) සය පුද්ගල විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා. මෙම කමිටුවේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු කටයුතු කරන අතර, සෙසු සාමාජිකයින් වශයෙන් නීතිඥ ජගත් වික්‍රමනායක, නීතිඥ අශෝක වීරසූරිය , හිටපු සහකාර විගණකාධිකාරී ඩී. එල්. පී. ඩයස්, සිවිල් ඉංජිනේරු චන්දන එදිරිසූරිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නීති නිලධාරි එල්. ජී. හෙක්ටර් පත්කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පිහිටා තිබෙන ගොඩනැගිල්ල මෙම අමාත්‍යාංශය සඳහා කිසිසේත්ම උචිත නොවන අතර, මාසිකව රු. මිලියන 21කට අධික මුදලක් මාසික කුලිය වශයෙන් ගෙවීමට සිදුව තිබේ. එමෙන්ම මෙම බදු ගිවිසුම වසර පහකින් අවසන් වන අතර ඒ වනවිට මෙම ගොඩනනැගිල්ල සඳහා ගෙවීමට සිදුවන මුදල රු. මිලියන 950 ඉක්මවයි. 

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මෙම බදු ගිවිසුමේ නීත්‍යානුකූප භාවය , මෙතෙක් කල් ගෙවා ඇති කුලී හා වෙනත් වියදම් පිළිබඳව කරුණු සෙවීම, ගිවිසුම අවසන් කිරීමට ඇති නෛතික හැකියාව, යනාදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් කරුණු සොයා බැලීමට පියවර ගන්නා ලෙස අමාත්යිවරයා එම කමිටුවෙන් ඉල්ලා ඇත. එමෙන්ම මේ සම්බන්ධව වන අවසන් වාර්තාව හා නිර්දේශ මාස දෙකක් තුළ තමන්ට ලබා දෙන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර එම කමිටුවට දන්වා ඇත.

මේ අතර අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා නැවත ගොවිජන මන්දිරය ලබා දෙන ලෙස ඉල්ලා කතානායක කරු ජයසූරිය වෙත ද ලිපියක් යොමුකර තිබෙනවා. එමගින් අමාත්‍යවරයා කියා ඇත්තේ අති දැවැන්ත මහජන මුදල් කන්දරාවක් වැය කරමින් මාසික කුලී පදනම මත ලබා ගෙන ඇති මෙම DPJ Tower ගොඩනැගිල්ල තවදුරටත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු සඳහා යොදා ගැනීම ජාතික අපරාධයක් බවයි.