Thursday, April 18, 2024

General line - 0115112241

රාමසාන් නිවාඩුව සමරන්න ගිය පුද්ගලයින් 192 ක් විල් පතුලේ සැඟව යයි (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ ටෝබා විලේ යාත්‍රා කරමින් තිබු "Sinar Bangun" නම් සංචාරක යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 192 දෙනෙක් අතුරුදහන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බලධාරීන් සඳහන් කරන්නේ මෙම යාත්‍රාවේ වරකට මගින් 60 දෙනෙකුට පමණක් ගමන් කිරීමට හැකියාව ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ එහි මගින් 213 කට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති බවයි. අනතුරින් දිවි බේරා ගැනීමට පුද්ගලයින් 18 දෙනෙකු සමත්ව තිබෙනවා.

බලධාරීන් සඳහන් කරන්නේ අනතුරට පත්වූ බහුතරයක් පිරිස මෙවර රාමසාන් නිවාඩුව ගත කිරීමට පැමිණි පුද්ගලයින් බවයි. ටෝබා විලේ බෝට්ටු සවාරිය ඉහල සංචාරක ආකර්ෂණයක් දිනා ගෙන ඇති ස්ථානයක් බවටයි හදුන්වන්නේ.

සිද්ධියෙන් දිවි ගලවා ගත් පුද්ගලයෙක් පවසා ඇත්තේ එක් වර මීටර් 03 ක් පමණ උසින් යුත් රළ පහරක් හේතුවෙන් බෝට්ටුව දෙපැත්තට පැද්දෙන්නට පටන් ගත් බවයි. ප්‍රමාණය ඉක්මවා මගින් සිටි බැවින් යාත්‍රාවේ සමබරතාවය ගිලිහෙන්නට පටන් ගත් බවත් යාත්‍රාව පෙරලෙනවාත් සමග තමන් ඉන් එලියට  පැන හැකි තරම් ඈතට පිහිනා ගිය බවයි.

" සිද්ධිය වූ අවස්ථාවේ යාත්‍රාවේ උඩ සිටි පිරිසට වඩා වැඩි පිරිසක් යට තට්ටුවේ අසුන් ගෙන සිටියා. ඔවුන් ඇතුලේ හිර වෙන්න ඇති, ඒ නිසා ඔවුන් ගැන බලාපොරොත්තුවක් තියා ගන්න අමාරු යැයි" සිද්ධියෙන් දිවි ගලවා ගනු ලැබූ රුඩි විබෝවා නම් මෙම පුද්ගලයා ඉන්දුනීසියානු බලධාරීන්ට සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දුනීසියානු ගලවා ගැනීමේ සහ හදිසි ආපදා ඒකකය සඳහන් කරන්නේ අනතුරට පත්වූ යාත්‍රාව ටොබෝ විලේ පතුලට කිදා බසින්න ඇති බවයි. ඔවුන් සඳහන් කරන පරිදි අනතුරට පත්වූ ස්ථානයේ ගැඹුර අඩි 1,657ක් බවයි.

අනතුරට පත්වූ යාත්‍රාවේ කපිතාන්වරයා දිවි බේරා ගෙන ඇති අතර මේ වන විට ඔහුව ඉන්දුනීසියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වර්ග සැතපුම් 440 ක විශාලත්වයෙන් යුත් ටොබෝ විල දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය සංචාරක ස්ථානයක් වනවා.

ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කරන්නේ විල් පතුලේ ඇති යාත්‍රාවේ සිරවී සිටින මළසිරුරු ගොඩට ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.