Friday, April 19, 2024

General line - 0115112241

ATM යන්ත්‍රයක් තුල සිදුවූ අපුරු සොරකම (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ස්වයංක්‍රීය ටෙලර් මැෂිමක් තුලට රිංගා ගත් මීයන් විසින් එහි තිබු රුපියල් මිලියන 1.2 ක් වටිනා මුදල් නෝට්ටු විනාශ කර දැමීමේ පුවතක් ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ රාජ්‍ය බැංකුවකින් වාර්තා වනවා.

පසුගිය දින 12 ක පමණ කාලයක් ගනුදෙනුකරුවන් විසින් මුදල් ගැනීමට යාමේදී ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් නිකුත් නොවීම හේතුවෙන් ඔවුන් ඒ පිළිබඳව බැංකුව වෙත පැමිණිලි කර තිබෙනවා. ඉන් පසුව එම බැංකුවේ ප්‍රධානින් විසින් ඒ පිළිබඳව සිය බැංකුවේ ප්‍රධාන කාර්යාලයට දැනුම් දී ඇති අතර තැන්පත් කර තිබු මුදල් ප්‍රමානය අදාළ මැෂිමෙන් නිකුත් නොවීම හේතුවෙන් ඒ ගැන සැක සිතා විශේෂ නිලධාරින් කණ්ඩායමක් අදාළ බැංකු ශාඛාව වෙත පොලිසියත් සමග පැමිණ ඇත්තේ යම් ආකාරයේ සොරකමක් සිදුව ඇත්තේද යන්න ගැන සෙවීමේ අරමුණින්.

අදාළ නිලධාරින් කණ්ඩායම පැමිණ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රය විවෘත කර බැලීමේදී ඔවුන් දැක ඇත්තේ මීයන් විසින් සපා කා විනාශ කර ඇති ඉන්දියානු රුපියල් 2000 සහ රුපියල් 500 නෝට්ටු තොගයක් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. බැංකු නිලධාරින් සිදුකළ ගණනයන්ට අනුව විනාශ කර දමා ඇති මුළු මුදල් වල වටිනාකම ඉන්දියානු රුපියල් මිලියන 1.2 ක් වේ. මේ අතර එම යන්ත්‍රය තුල තිබී තවත් රුපියල් මිලියන 1.7 ක් වටිනා විනාශ නොවූ මුදල් ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකළ බැංකු නිලධාරීන් සඳහන් කරන්නේ ටෙලර් මැෂිම තුලට වයර් ඇතුලත් කරනු ලබන සිදුරකින් මෙලෙස මීයන් ඒ තුලට රිංගා යන්නට ඇති බවයි.

කෙසේ වුවත් මෙම සිදුවීම මේ වන විට ඉන්දියාවේ සමාජ මාධ්‍ය ජාල තුල ප්‍රබල මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.