Wednesday, April 24, 2024

General line - 0115112241

දසදෙනෙකුට පහර දුන් දුර්ලභ ගණයේ දිවියෙකු ප්‍රදේශවාසීන් එක්ව මරාදමයි (VIDEO) (PHOTO)

මාධව කුලසූරිය -වවුනියාව




කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශයට පැමිණ පුද්ගලයින්ට පහරදෙන දුර්ලභ ගණයේ දිවියෙකු මරා දැමීමට ප්‍රදේශවාසීන් කටයුතු ක තිබෙනවා. මෙම දිවියා ගම්වැදී  පුද්ගලයින් 10 දෙනෙකුට පමණ පහර දී ඇති අතර  පසුව ප්‍රදේශවාසීන් එක්ව දිවියා අල්ලා දිවියාට පහරදි අද(21) දහවල් මරා දමා තිබෙනවා.

මේ පිළිබඳව මීට පෙර වනජිවි නිළධාරීන්ට දැනුම් දී ඇති අතර,වනජිවි නිළධාරීන් සහ ප්‍රදේශවාසීන්  එක්ව දිවියා අල්ලා ගැනීමට මෙහෙයුමක් සිදුකොට ඇතත් එහිදි දිවියා අල්ලා ගැනීමට නොහැකි වි තිබෙනවා.

දිවියා අද(21) උදැසන අම්බාල්කුලම විවේනන්ද විද්‍යාලය පසුපස කැළෑ ප්‍රදේශයේදී ගවයින් රැක බලා ගන්නා පුද්ගලයෙකුටද පහරදි ඇති අතර,එහිදි ගම්වාසීන් වනජිවි නිළධාරීන්ට සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කොට තිබෙනවා. ඒ අනුව  උදැසන 11 ට පමණ වනජීවී නිළධාරීන් අදාල ස්ථානයට පැමිණ තිබුණද  වනජිවි නිළධාරීන් ප්‍රමාද වීම හේතුවෙන්  ප්‍රදේශවාසීන් වනජිවි නිළධාරීන්ට චෝදනා කොට ඇති අතර වනජිවි නිළධාරීන්ද එහිදි අපහසුතාවයට පත්ව නැවත හැරී ගොස් තිබෙන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

වනජිවි නිළධාරීන් නැවත පිටත්වීමෙන් අනතුරුව ගම්වාසීන් දිවියා අල්ලා ගැනීමට පිටත්ව ගොස් ඇති අතර,අදාළ අවස්ථාවේදී දිවියා කැළැවේ පදුරකින් එළියට පැමිණ පුද්ගලයෙකුට පහරදීමට උත්සහ දැරු බවත් එහිදි ගම්වාසීන් විසින් පොලු මුගුරුවලින් පහරදී දිවියා මරා දැමු බවත් කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේ වෙතත් දිවියා ගම්වැදීමට හේතු‍ව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර දිවියා පහරදීමෙන් වනජිවි නිළධාරීයෙකුද තුවාල ලබා ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

දිවියා පහරදීමෙන් තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව කිලිනොච්චිය පොලිසිය පැවසීය.