Saturday, April 20, 2024

General line - 0115112241

හෝමාගමට ජල බවුසර් සහ කැරලි මර්ධනය කැඳවයි -අධිකරණය අවට දැඩි රැකවල් (UPDATE)

හේමන්ත කහවලගේ/ ලහිරු කපුගේ




හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ සහ ඒ අවට ප‍්‍රදේශයේ ආරක්‍ෂාව දැඩි කර තිබෙනවා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ඇප අයැදුම එම අධිකරණයේදී අද පස්වරුවේ විභාගයට ගැනීමට නියමිතයි. එහිදී කිසියම් නොසන්සුන්තාවක් ඇතිවීම වළක්වාලීම සදහායි ආරක්‍ෂාව දැඩි කර තිබෙන්නේ. අතිරේක පොලිස් කණ්ඩායම්ද කැදවා තිබෙනවා. ජල බවුසර් සමග කැරළි මර්දන කණ්ඩායම්ද එහි රදවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීමට විරෝධය පළ කරමින් පාදුක්ක සහ තවත් ප‍්‍රදේශ කිහිපයක කළු කොඩි ප‍්‍රදර්ශනය කර තිබෙනවා. කොළඹ - පිටකොටුව ප‍්‍රදේශයේ මහා සංඝ රත්නය විසින් ආරම්භ කෙරුණු සත්‍යග‍්‍රහය තවදුරටත් සිදු කෙරෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද දිනයේත් ඇප නොලැබුණහොත් එම සත්‍යග‍්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා දැඩි කිරීමටද සැලසුම් කර තිබෙනවා. 
 

-----------------------------------------

අද විතරයි බලන්නේ! මාරාන්තික උපවාසයක් කරනවා

22-06-2018 05:52

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද (22) දිනයේත් ඇප ලබා නොදුනහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට භික්‍ෂූන් වහන්සේ පිරිසක් සූදානම් වනවා. උන්වහන්සේගේ ඇප අයදුම හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද සලකා බැලීමට නියමිතයි. එහිදී උන්වහන්සේට ඇප ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුවා. එසේ නොවුනහොත් ඇප ලබාගැනීමට බල කෙරෙන මීළග පියවර ලෙස මාරාන්තික උපවාසය ආරම්භ කරන බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ. 


මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා ගැනීම සදහා භික්‍ෂුන් වහන්සේ පිරිසක් ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කර තිබෙනවා. එහිදී උන්වහන්සේ පවසා ඇත්තේ තමන් අධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයකට ලක් කිරීමට උත්සාහ නොකරන බවයි. එහෙත් සිරගත කිරීමෙන් පසු සිවුරුද ඉවත් කිරීමෙන් සිදුව ඇති අපහසුතා පිළිබද සැලකිල්ලට ගෙන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව උන්වහන්සේ අවධාරණය කර තිබෙනවා.