Friday, April 19, 2024

General line - 0115112241

ජීවිතාරක්ෂාව පතා යුරෝපයට ගිය 215 ක් මුහුදට බිලිවෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




යුරෝපය බලා පැමිණි සරණාගතයින් රැගත් යාත්‍රා තුනක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 215 දෙනෙක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ලිබියාවේ සිට යුරෝපය බලා බෝට්ටු මගින් මධ්‍යධරණී මුහුද හරහා සංක්‍රමණය වීමට උත්සහ දැරු මෙම පුද්ගලයින් එම යාත්‍රා පෙරලීයාමෙන් මෙම අවාසනාවන්ත ඛේදවාචකයට මුහුණ පා ඇති බව එක්සත් ජාතින්ගේ වාර්තා උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කර සිටිනවා.

මින් පළමු සිදුවීම වාර්තා වී ඇත්තේ ලිබියාවේ ට්‍රිපොලි අගනුවරට ආසන්නයේදී වන අතර සංක්‍රමණිකයින් 100 දෙනෙක් රැගත් යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 95 දෙනෙක් මියගොස් ඇති අතර තවත් 05 දෙනෙකු දිවිබේරා ගැනීමට ලිබියානු ජාතික ආරක්ෂක බළකාය සමත්ව තිබෙනවා.

දෙවැනි සිදුවීමද වාර්තා වී ඇත්තේ ලිබියාවට ආසන්න මුහුදු සීමාවේදී වන අතර මගින් 130 දෙනෙක් රැගත් යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 60 දෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා.

තෙවන සිදුවීම වාර්තා වී ඇත්තේ ලිබියාවේ, ට්‍රිපොලි අගනුවරට නැගෙනහිර මුහුදේ පාවෙමින් තිබු මළසිරුරු 50 ක් සොයා ගැනීමට ලිබියානු වෙරළ ආරක්ෂකයින් සමත්ව තිබෙනවා.

2017 වසරේ ජනවාරි මස සිට මැයි මාසය දක්වා කාල සීමාව තුල ලිබියාවේ සිට පුද්ගලයින් 60,000 ක් ඉතාලියට පැමිණ තිබෙනවා.

2011 වසරේදී ලිබියාවේ ඇතිවූ සිවිල් යුද්ධයෙන් පසු ඇතිවූ ආර්ථික අහේනිය සහ ආහාර හිගතාවය හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරාම මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට සංක්‍රමණය වීමට උත්සහ දැරූ විශාල පිරිසක් ඔවුන් ගමන් කළ බෝට්ටු අනතුරට ලක්වීමෙන් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.