Saturday, April 20, 2024

General line - 0115112241

රුසියාවෙන් ගුවන් ප්‍රහාර : අමෙරිකාව පසු බසියි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිරියාවේ නිරිතදිග ප්‍රදේශයේ ස්ථානගතවී සිටින කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් සිරියානු රජයේ හමුදාවන් සහ ඔවුන්ට සහය දක්වන කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා. එම ප්‍රහාරයන් හේතුවෙන් දහස් ගණනක් වූ සිවිල් වැසියන් දැනට ජෝර්දානය සහ ඊශ්‍රායාලය විසින් අරක්ෂා කරනු ලබන "ගෝල්ඩන් හෙයිට්ස්" (Golan Heights) ප්‍රදේශයේ පිහිටි දේශසීමාව බලා පළායමින් සිටින බව වාර්තා වනවා. 

සිරියානු රජයේ හමුදාවන්ට සහය ලබා දෙමින් එම මෙහෙයුම් සඳහා රුසියානු ගුවන් යානාද එක්වී ඇති අතර, එය රුසියාව විසින් සිරියානු හමුදාවේ මෙහෙයුම් සඳහා ලබාදුන් ප්‍රථම ගුවන් ප්‍රහාරක සහය ලෙසයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සිරියාවේ ගිනිකොණ පිහිටි බුස්රා අල් හරීර් ප්‍රදේශයේ ස්ථානගත කර තිබෙන ගුවන් නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ රුසියානු ප්‍රහාරක ගුවන් යානා 05 ක් විසින් කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර 25 ක් පමණ එල්ල කළ බවයි. ඊට අමතරව රුසියානු රජයේ හමුදාවන් විසින් කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු සහ රොකට් ප්‍රහාරයන් දියත් කර ඇති බවද සඳහන්.

මේ අතර දකුණු සිරියාවේ යුධ ගැටුම් සම්බන්ධයෙන් තම සහයෝගය බලාපොරොත්තු නොවන ලෙස අමෙරිකාව සිරියානු කැරළිකරුවන් වෙත දනුම් දී තිබෙනවා. වොෂින්ටනය මගින් නිකුත් කර තිබෙන එම නිවේදනයේ  සඳහන් කරන්නේ දකුණු සිරියාවේ බලය අල්ලාගෙන සිටින ප්‍රතිවිරුද්ධ හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා සිය යුධ ශක්තිය ලබා දීමට කටයුතු නොකරන බවයි. 

එසේ වුවත් සිවිල් වැසියන් රැදී සිටින යුධ මුක්ත කලාපයට ප්‍රහාර එල්ල නොකිරීමට වගබලා ගන්නා ලෙස සිරියාවට සහ රුසියාවට උපදෙස් දුන් බවද එම නිවේදනයේ සඳහන් යැයි කැරලිකරුවන් සඳහන් කරනවා.

සිරියාවේ දකුණු දිග ප්‍රදේශයේ සිදුකරන මෙහෙයුම් සම්බන්ධයෙන් පසුගිය වසරේදී අමෙරිකාව සිරියාවට සහ රුසියාවට අනතරු අඟවා තිබු අතර එය සිරියානු කැරලිකරුවන්ට මහත් සහයක් ගෙනදී තිබුනා. නමුත් අමෙරිකාවේ නව ප්‍රතිපත්ති මත මේ වන විට සිරියානු රජයේ හමුදාවන්ට එරෙහිව සටන් කිරීමේ ගැටලුවකට මුහුණපා ඇති බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ.