Thursday, April 25, 2024

General line - 0115112241

මසක් තිස්සේ වතුර බැස නොයන තැනක් (PHOTOS)

ජූඩ් සමන්ත




නිවාස 60 කට වැඩි ප්‍රමාණයක් මාසයකට වැඩි කාලයක සිට ජලයෙන් යටවී ඇති ප්‍රදේශයක් පිළිබඳව nethnews.lk වෙත තොරතුරු වාර්තා වුණා.

පවුල් 1200 ක් පමණ වාසය කරන හලාවත,මයික්කුලම - ඊබට් සිල්වා වත්තේ පවුල් 800 කට ආසන්න ප්‍රමාණයක් ජලය බැස නොයාම නිසා මෙලෙස පීඩාවට පත්ව සිටිනවා.

කොළමුණුඔයේ ජලය යෝධ ඇල ඔස්සේ කරවිටාගාරය වැවට පැමිණ එහි වැඩි ජලය මුන්නේෂ්වරම වැව දක්වා ගමන් කරනවා. මුන්නේෂ්වරම වැව වාන් දැමූ විට එහි ජලය එකතු වන්නේ නල්ලනායගම් වැවටයි. එම වැවේ වාන් ජලය පනන්කුඩාව වැව දක්වා ගමන් කරනවා. පනන්කුඩාව වැවේ වාන් ජලය හලාවත කලපුව දක්වා ගමන් කරන්නේ මයික්කුලම ගම්මානය හරහායි.

පනන්කුඩාව වැවේ ජලය කලපුව දක්වා ගමන් කිරීම සඳහා ඇති ස්වාභාවික ඇල මාර්ගය මේ වන විට පවුල් කීපයක් විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන අවහිර කර තිබීම මෙම තත්ත්වයට හේතුව බව ගම්වාසීන් පවසනවා.

සෑම වසරකම වැසි කාලයට තමන් මෙම තත්ත්වයට මුහුණ දෙන බවත්, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ දැණුවත් කළ විට තාවකාලික පැළැස්තර පමණක් යොදන බවටද ගම්වාසීන් චෝදනා කරනවා. කළ යුතු වන්නේ අවහිර කර ඇති ඇළ මාර්ගය යළි සකසා කලපුව දක්වා ජලය ගලා යාමට සැළැස්වීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය මත ඊබට් සිල්වා වත්තේ පදිංචිකරුවන්ට සිය දෛනික කටයුතු සිදුකර ගැනීමටද දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර දීර්ඝ කාලයක් ජලය එක්රැස් වී පැවතීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලුද පැන නැග තිබෙනවා. මෙලෙස දීර්ඝ කාලයක් ජලය පැවතීම හේතුවෙන් ඉදිකිරීම්ද අබලන් වීමේ අවදානමක් පවතින බවයි ගම්වාසීන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.