Tuesday, April 16, 2024

General line - 0115112241

ඔලිම්පික් දින සැමරුම් නුවරඑළියේදී (PHOTOS)

කසුන් කැළුම්




ජාතික ඔලිම්පික් කමිටුව සංවිධාන කරන ඔලිම්පික් දින සැමරුම් අද (25) නුවරඑළියේදී උත්කර්ශවත් ලෙස පැවැත්වුණා. 

ලෝක ඔලිම්පික් දිනය සැමරීම වෙනුවෙන් පැවැත්වෙන මෙම වැඩසටහනට ඔලිම්පික් පදක්කම් දිනූ කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ද එක් වූ අතර එවරස්ට් කන්ද තරණය කරමින් බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් ජොහාන් පීරිස් හා ජයන්ති කුරු උතුම්පලා එක්වීම විශේෂත්වයක්.

ඔලිම්පික් දින සැමරුම් උළලේ ප්‍රධාන අමුත්තා ලෙස මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක සහභාගි වූ අතර  මීටර් 800 ආසියානු රන් පදක්කම්ලාභිනී ගයන්තිකා අබේරත්න ද ඔලිම්පික් දින සැමරුමට එක්ව සිටියා. 

ඔලිම්පික් මාර්ග ධාවන තරගය නුවරඑලියේ දී පැවති අතර ඔලිම්පික් චිත්‍ර ප්‍රදර්ශනයේදී තෝරා ගන්නා දක්ෂ දරුවන් දස දෙනකුට එහිදී විශේෂ තිළිණ ප්‍රදානය හා ඔලිම්පික් ධාවන තරගයේ සහභාගී වූ සියලුම පාසල් සිසුන්ට වටිනා සහතිකයක් ද තිළිණ කෙරුණා. නුවරඑළිය ප්‍රදේශයේ පාසල් සිසුන්  මේ සදහා එක්ව සිටියා. 

ජාතික ඔලිම්පික් කමිටු පාඨමාලා අධ්‍යක්ෂක ආචාර්ය බී. එල්. එච්. පෙරේරාගේ ප්‍රධානත්වයෙන් ඔලිම්පික් වටිනාකම් පිළිබඳ විශේෂ වැඩමුළුවක් හා දැනුම්වත් කිරීමක්ද මෙම වැඩසටහනේදී සිදු කෙරුණා. 

මෙවර ඔලිම්පික් දිනයේ e sports ක්‍රීඩාව හඳුන්වා දීමද සිදු කිරීම විශේෂත්වයක්.  ඉන්දුනීසියාවේ පැවැත්වෙන මීළඟ ආසියානු ක්‍රීඩා උළෙලේදී  e sports ක්‍රීඩාව ප්‍රථම වරට හඳුන්වා දීමෙන් පසු 2022 චීනයේ හන්ග්ස්හෝ ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවනු ඇති බවයි ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප්‍රකාශ කළේ.