Friday, April 19, 2024

General line - 0115112241

මහ වැසි සමග ගල් ගුහාවක සිරවූ පාපන්දු ක්‍රීඩකයින් සොයා මෙහෙයුම් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු තායිලන්තයේ සංචාරක ආකර්ෂණය දිනා ඇති Tham Luang Nang Non ගල් ගුහාව නැරඹීමට ගිය පාපන්දු ක්‍රීඩකයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

පසුගිය සිකුරාදා මෙම පිරිස ගල් ගුහාව නැරඹීමට එහි තුලට ගොස් ඇති බවත් මේ දක්වා ඔවුන් ඉන් පිටතට නොපැමිණ ඇති බවයි තායිලන්ත පොලිසිය සඳහන් කරන්නේ.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ අවුරුදු 11-16 ක් අතර ක්‍රීඩකයින් බවයි පැවසෙන්නේ. දර්ශනීය ගල් ගුහාවක් වන මෙය කිලෝමීටර් ගණනාවක් පොලොව යටට ගමන් කරන බව බලධාරීන් පවසනවා.

පසුගිය සෙනසුරාදා දහවල් අධික වැසි ඇතිවීමත් සමග ගල් ගුහාව තුලට වැසි ජලය ගලා යාම හේතුවෙන් ඒ තුල මෙම පිරිස සිරවෙන්නට ඇති බවට බලධාරීන් විශ්වාස කරනවා.

තායිලන්ත බලධාරීන් සදහන් කරන්නේ ජුනි සිට ඔක්තෝම්බර් කාල සීමාව තුලදී ඇති වන වර්ෂාවත් සමග Tham Luang Nang Non ගල් ගුහාව අඩි 05 ක් පමණ ජලයෙන් යටවන බවයි.

මේ අතර අතුරුදහන්ව සිටින පිරිස් සෙවීම සඳහා තායිලන්ත ආරක්ෂක ඇමතිවරයාගේ නියෝග මත එරට නාවික හමුදාවේ විශේෂ ප්‍රහාරක බලඝණයේ කිමිදුම්කරුවන් අද ගල් ගුහාව අභ්‍යන්තරයට පිවිසීමට නියමිතයි.