Tuesday, April 16, 2024

General line - 0115112241

ඇමතිවරයෙක්ගේ දෛනික නඩත්තුවෙන් වකුගඩු රෝගීන් 15 කට ප්‍රතිකාර කළ හැකි - මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන

ලහිරු කපුගේ




නාස්තිකාර වියදම් වළක්වාලන බවට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව දැන් අමාත්‍ය මණ්ඩලය නඩත්තු කිරීමට ද දරාගත නොහැකි වියදමක යෙදී සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. මන්ත‍්‍රීවරයා ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (25) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. 

රජය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ මන්ත්‍රීවරුන් 113 දෙනෙක්. මේ වන විට ඉන් 86 දෙනෙක්ට ඇමතිකම් ලබාදීලා තිබෙනවා. සැකයක් තිබෙනවා රජය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය නිසා ඉතිරි පිරිසටත් ඇමතිකම් ලබා දේවි කියා. මෙම එක් ඇමතිවරයෙක් නඩත්තු කිරීමට එක් දිනක යන වියදමින් රටේ වකුගඩු රෝගීන් 15 දෙනෙක්ට ප්‍රතිකාර ලබාදිය හැකි බවයි මෙහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශයකට ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ඔහු පැවසුවේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණ දිගින් දිගටම කල් දමමින් සිටින බවයි. එසේ කිරීමෙන් පළාත් සභා අහෝසි වී යා හැකි බවද ඔහු පෙන්වා දුන්නා.  

පළාත් සභා 09 න් මේ වන විට පළාත් සභා 03 ක් විසුරුවා හැර ඇති අතර තවත් පළාත් සභා 03 ක බලය ලබන සැප්තැම්බර් මස අග වන විට අවසන් වීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරණය එළඹෙන විට මෙම පළාත් සභා 06 සම්පුර්ණයෙන් අවුරුදු 02 ක් ක්‍රියා විරහිතයි. එතකොට ප්‍රශනයක් එනවා අවුරුදු 02 ක් පළාත් සභා නැතිව පාලනය කරන්න පුළුවන් උනු නිසා එහි අවශ්‍යතාවයක් නැති බව පෙන්වීමට ආණ්ඩුව බලාපොරොත්තු වනවා යැයි මෙහිදී මන්ත්‍රිවරයා කියා සිටියා.

පළාත් සභා මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ඉකුත් දා කළ ප‍්‍රකාශයට ද හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා. 


ආණ්ඩුව විසින් දිගින් දිගටම මැතිවරණ කල්දැමීමට එරෙහිව ලබන මාසයේදී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටියා.