Friday, April 19, 2024

General line - 0115112241

අනතුරකට ලක්වූ කුසල් ජනිත් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

දිනුක් හේවාවිතාරණ




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති 3 වන ටෙස්ට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් උනා. ඒ තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම කරමින්.

බාර්බඩෝස් හිදී පැවති 3 වන ටෙස්ට් තරගය දිවා/ රාත්‍රි තරගයක් ලෙස පැවති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හිමිවිය. තරගයේ 3 වන දිනය (26) අවසානයේදී ජයග්‍රහණය හඹා යමින් සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 81 කට කඩුලු 5 ක් දැවී ගොස් තිබුනා.

අද දිනයේදී කඩුලු 5 ක් අතැතිව ජයග්‍රහණය සඳහා වූ ලකුණු 63 ක ඉලක්කය සපුරා ගැනීමේ අදිටනින් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පිතිකරු යුගලය වූ කුසල් මෙන්ඩිස් (25*) හා දිල්රුවන් පෙරේරා (1*) ගේ බලාපොරොත්තුව වී තිබුනත් තරගයේ 4 වන දිනයේදී යැවු පළමු පන්දුවාරයේදීම කුසල් මෙන්ඩිස් ගේ ඉණිම ලකුණු 25 කට සිමා කිරීමට ජේසන් හෝල්ඩර් සමත් වුනා.

ඊයේ දිනයේදී පන්දුවක් රැකීමට ගොස් අනතුරකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා 7 වන පිතිකරුවා ලෙස ඩිල්රුවන් පෙරේරා සමග එක්ව ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබු ලකුණු 63 ක ඉලක්කය පන්දු ඕවර 14.2 ක් තුලදී වාර්තා කිරීමට සමත් විය. එහිදී කුසල් ජනිත් නොදැවී ලකුණු 28 ක් සහ දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුනා.

වේග පන්දු යවන්නන්ගේ පරාදියක් වූ කිංස්ටන් ඕවල් ක්‍රීඩාංගනය තුල දින 4 ක් තුලදී කණ්ඩායම් දෙකේම කඩුලු 36 ක් බිඳ වැටුනු අතර ඉණිම් 4 තුල වාර්තා වුයේ ලකුණු 595 ක් පමණයි. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉණිම් 2 ක තුලදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් කඩුලු 17 ක් ලබා ගැනීමට සමත් විය.

සුරංග ලක්මාල් තමන් නායකත්වය ලබාදුන් පළමු ටෙස්ට් තරගය ජයග්‍රාහි ලෙස අවසන් කිරීමට සමත් වීමද මෙහි විශේෂත්වයක් වනවා. 

තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ කියා සිටියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේ රටේදී ටෙස්ට් තරගයක් ජයගැනීම ලේසි නොවන බවත් ලද ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගේ මානසිකත්වය ශක්තිමත් කිරීමට පිටුවහලක් වන බවයි. එමෙන්ම ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට හැකිවීම ගැන සතුටු වන බව පැවසු ඔහු තරගාවලිය තුලදී කුසල් මෙන්ඩිස් හට පිතිකරණයේ යෙදීමට සිදුවුයේ ස්ථාන 3 ක වුවත් ඔහු ඒ ගැන කිසිදු විටක ඒ ගැන පැමිණිල්ලක් කලේ නැති බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් මනා ආයෝජනයක් වන බවයි.  


3 වන ටෙස්ට් තරගය පැවති බාර්බඩෝස් හි කිංස්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී මිට පෙර කිසිදු ආසියාතික රටක් ටෙස්ට් තරගයක් ජයගෙන නොමැති අතර ශ්‍රී ලංකා කණ්ඩායම අද ලද ජයග්‍රහණය එවැනි දක්ෂකමක් කළ පළමු ආසියානු කණ්ඩායම වීමද විශේෂත්වයක් වනවා. 

මිට ඉහතදී පාකිස්ථානය, ඉන්දියාව අවස්ථා 05 කදී මෙම ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරග වලට ක්‍රීඩා කර ඇති මුත් ඉන් එකඳු අවස්ථාවකදී ඔවුන්ට ටෙස්ට් තරගයක් ජය ගැනීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකා පිල කිංස්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී මුහුණ දුන් සිය  පළමු තරගයේදීම ජයගැනීම සුවිශේෂී වනවා.