Tuesday, April 23, 2024

General line - 0115112241

දකුණු කොරියාව ඉතිහාසගත ජයග්‍රහණය ලැබුවේ මෙහෙමයි (VIDEO)

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව පුරා පාපන්දු පේ‍්‍රක්ෂකයින්ගේ සිත් මොහොතකට සලිත කරමින් වත්මන් ලෝක ශූර ජර්මනියට මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.

ඒ, දකුණු කොරියාව සමග පැවති තීරණාත්මක තරගයෙන් පරාජයට පත්වීම හේතුවෙන්. ලෝක පාපන්දු ඉතිහාසයේ ශූරතාවයට හිමිකම් කියන කණ්ඩායමක් මෙලෙස මූලික වටයෙන්ම ලෝක කුසලාන තරගාවලියකින් ඉවතට විසිවූ 06 වන අවස්ථාව මෙයයි.

මීට පෙර ප‍්‍රංශය, බ‍්‍රසීලය, ඉතාලිය සහ ස්පාඤ්ඤයට ද මෙම ඉරණම අත්වි තිබෙනවා. ජර්මනිය ලෝක පාපන්දු ඉතිහාසයේ ලෝක කුසලාන තරගාවලියක මූලික වටයෙන්ම ඉවතට විසිවී ඇත්තේ 1938 වසරෙන් පසු පළමු වරටවීම ද විශේෂත්වයක්. 

ඊයේ (28) රාත‍්‍රියේ පැවති තීරණාත්මක තරගයෙන් දකුණු කොරියාව හමුවේ ජර්මනිය පරාජයට පත්වූයේ ගෝල දෙකට බිංදුවක් ලෙසයි. ජාත්‍යන්තර තරගයකදී ලෝක ශූර කණ්ඩායමක් පරාජයට පත් කළ පළමු ආසියානු රට ලෙසට ද දකුණු කොරියාව මෙහිදී ඉතිහාසයට එක්වුණා.

එමෙන්ම මෙවර තරගාවලියේ ඔවුන් ලැබූ එකම ජය වන්නේ ද ලෝක ශූරීන් පරදා ලැබූ මෙම ජයග‍්‍රහණයයි. මුලසිට උණුසුම් මුහුණවරක් ගත් තරගයේ පළමු මිනිත්තු 90දී කිසිඳු කණ්ඩායමකට ගෝල රැස් කිරීමට හැකි වූයේ නැහැ. 

අතිරේක කාලය ආරම්භ වී ගත වූ තුන්වන මිනිත්තුවේදී දකුණු කොරියාව පළමු ගෝලය රැස් කළා. පීඩනය ජර්මනිය කෙරෙහි දැඩි ලෙස එල්ල වීමත් සමග ඔවුන්ගේ දැල් රකින ක‍්‍රීඩකයා ද ක‍්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසීම එහිදී සිදු වූ විශේෂත්වයක්. එහි වාසිය හිමිකර ගත් දකුණු කොරියාව තවත් මිනිත්තු 03ක් ගතවද්දී දෙවන ගෝලය ද වාර්තා කර ගනිමින් මෙම ඉතිහාසගත ජයග‍්‍රහණය වාර්තා කළා. 

මෙම කාණ්ඩයේ ඊයේ රාත‍්‍රියේ පැවති තවත් තරගයකින් ගෝල තුනට බිංදුවක් ලෙස මෙක්සිකෝව පරාජය කළ ස්වීඩනය ද දහසයේ වටයට සුදුසුකම් ලබාගත්තා. 

මේ අතර ඊයේ රාත‍්‍රියේ පැවති තවත් තීරණාත්මක තරගයකින් සර්බියාව පරදා ගෝල දෙකට බිංදුවක් ලෙස ජය අත්කර ගැනීමට බ‍්‍රසීලය සමත් වුණා. මෙම තරගය ජයගැනීමත් සමග ඔවුන්ද ඊ කාණ්ඩයෙන් පෙරමුණ ගනිමින් අවසන් දහසයේ වටයට සුදුසුකම් ලබා ගත්තා. 

ගෝල දෙකට දෙකක් ලෙස කොස්ටරිකාව සමග පැවති තරගය සමවීමත් සමග ස්විස්ටර්ලන්තය ද දහසය දෙනාගේ වටයට ඊයේ රාත‍්‍රියේ සුදුසුකම් ලබාගත්තා. මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තවත් තරග 04ක් අද (28) පැවැත්වීමට නියමිතයි. 

(වීඩියෝව මෙතැනින් නරඹන්න)