Friday, April 26, 2024

General line - 0115112241

බෞද්ධයින් තරම්  මෛත්‍රී කරුණාව ඇති ජන කොටසක් ලෝකයේ කොහෙවත් නෑ - ෆයිසර් මුස්තාපා




මේ රටේ සංස්කෘතිය ඉදිරි පරම්පරාවට ආරක්ෂා කිරීමට දහම් අධ්‍යාපනය අවශ්‍යයැයි පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පෙන්වා දෙනවා. දෙමව්පියන් ආගම ධර්මය අමතක කර තමන්ගෙ දරුවන්ට අධ්‍යාපනය ගැන පමණක් උනන්දුවක් දැක්වීම සම්බන්ධයෙන් ඔහු මෙහිදී අප්‍රසාදය පල කළා.

 "මම හැමදාම කියන ආකාරයට මිනිසා හා තිරිසනා අතර ඇති පරම වෙනස වන්නේ දහම හෝ අධ්‍යාපනයයි. යම් අයෙකුට බලාපොරොත්තුවක් ඇති කිරීමට හෝ තමන්ගේ ජීවිතයේ යම් පලයක් ඇති කිරීමට ධර්මය අවශ්‍ය  වන බව සඳහන් කිරීමට මම කැමතියි.

පසුගිය කාලේ සමහර ආණ්ඩු නීති ගෙන ඒමට හැදුවා කැසිනෝ නීතිගත කරන්නට. එහි ප්‍රතිපලයක් වූයේ එම ආණ්ඩුව වැටුණු එක. හේතුව අපේ රට ආර්ථිකයට වඩා දහමෙන් සංස්කෘතියෙන්  පෝෂණය වූ රටක්.

මම තීරණයක් ගත්තා  සුගතදාස ක්‍රීඩාංගනයේ තැබෑරුම වැසීමට. හුඟක් අය කිව්වා ඉතිහාසයේ සිටම සුගතදාස ක්‍රීඩාංගනයේ තැබෑරුම  තියෙනවා. ඒ නිසා එය කරගෙන යා යුතුයි කියා. නමුත් මම ඒ ගත් තීන්දුව ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට මා දැනුවත් කළා.

අපේ රටේ සමාජ විරෝධී ක්‍රියා අඩුකිරීමටත්  මේ රටේ ආර්ථිකමය  හා සමාජමය වශයෙන්  පෝෂණය වීමට දහම් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි. අද දහම් අධ්‍යාපනය පිළිබඳ නිසි දැනුමක් නැතිව ඊළග පරපුරට එය ලබා දීමට නොහැකියි. දහම් පාසැල් ගුරුවරයෙකුට වගකීමක් තියෙනවා ළමයින්ගේ අධ්‍යාත්මික බව තවතවත් වැඩි කිරීමට.

බුදු දහම බෞද්ධ සංස්කෘතිය මගෙ හදවතට ඉතාමත් කිට්ටුයි. මල්වතු හා අස්ගිරිය පන්සල් කේන්ද්‍ර කොට ගෙන  මහනුවර දිස්ත්‍රික්කයේ  දහම් පාසැල් ගුරුවරුන් වෙනුවෙන් මම විශාල වැඩසටහනක් දියත් කළා. බුදු දහම කියන්නේ  ජීවන රටාවක්. එය බෞද්ධයන්ට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. මම මුස්ලිම් භක්තිකයෙක් උනත් බුදු දහම තුල ඇති දේවල්  මම ඉගෙන ගෙන තියෙනවා.  කවුරු මොනවා කිව්වත් අද ලෝකය දිහා බලන විට බෞද්ධයින් තරම්  මෛත්‍රී කරුණාව ඇති ජන කොටසක් කොහෙවත් නෑ."

පොදුවේ ගත් කල මේ රටේ සුළු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට මේ රටේ  බෞද්ධ ජනතාව ලබා දී ඇති අවස්ථාව ලෝකයේ කිසිදුරටක නැති බව අප දැන ගතයුතුයැයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

"අද මම තමුන්නාන්සේලා ඉදිරියේ  මුස්ලිම් භක්තිකයෙක් හැටියට  අද මේ කථාව පවසන්නේ මම මුස්ලිම් පවුලක උපන්  නිසා. අද තමුන්නාන්සේලාගෙන් බහුතරයක් බුදුදහම අදහන්නේ බෞද්ධ පවුලක උපන් නිසා. ඒ නිසා එසේ ආගම ධර්මය බොහෝ අවස්ථාවලදී  උත්පත්තියෙන් ම තීන්දු වූ දෙයක්."

මේ රටට අවශ්‍ය මෛත්‍රීය කරුණාව සහ සහජීවනය සියළු ජාතීන්හට ලබාදීමේ හැකියාව බෞද්ධ දර්ශනය තුළ ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කොළඹ 14, ශ්‍රී සෝමානන්ද විහාරස්ථානයේ පැවති,මැද කොළඹ ශාසනාරක්ෂක බල මණ්ඩලය හා ෆයිසර් මුස්තෆා පදනම එක්ව සංවිධානය කළ මැද කොළඹ දහම් පාසැල්වල ගුරුවරුන්ගේ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ  ගුරු පුහුණු වැඩසටහනෙහි සහතික පත් බෙදා දීමේ උත්සවයේදීය.