Friday, April 19, 2024

General line - 0115112241

සටන් විරාමයක් ගැන පවසද්දී සිරියානු යුධ ගැටුම් උග්‍ර අතට : සිවිල් වැසියන් 200 ක් මරුට




සිරියානු රජයේ හමුදාවන් සහ කැරලිකරුවන් අතර දකුණු දිග සිරියාවේ පවතින යුධ ගැටුම් තාවකාලිකව නිමා කරමින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බව ජෝර්දානයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. එසේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට මුලික අරමුණ වී ඇත්තේ යුද්දයෙන් අවතැන්වූ ලක්ෂයකට අධික සිවිල් වැසියන් මේ වන විට ජෝර්දානය සහ ඊශ්‍රායාල් දේශසීමාවන් ආසන්නයට එක්රැස්වී සිටීම හේතුවෙන්.

එවැනි සටන් විරාමයකට සිරියානු රජයේ හමුදාවන් සහ කැරලිකරුවන් එළැඹ ඇත්ද යන්න ගැන නිශ්චිත ලෙස ප්‍රකාශ කිරීමට තමන් සතුව තොරතුරු නැති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

කෙසේ වුවත්  රජයේ හමුදාවන් සහ කැරලිකරුවන් අතර සිරියාවේ පවතින යුධ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 200ක් පමණ මියගොස් ඇති බව CNN පුවත් සේවය වාර්තා කර සිටිනවා. ජාත්‍යන්තර නිරීක්ෂකයින් විසින් එය තහවුරු කර ඇති බවයි එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම නිරීක්ෂකයින් සඳහන් කරන්නේ යුධ ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින 120,000 කට ආසන්න සිවිල් වැසියන් සංඛ්‍යාවක් මේ වන විට ජෝර්දානය සහ ඊශ්‍රායාලය විසින් වසා දමා තිබෙන ගෝලන් හෙයිස්ට් ප්‍රදේශයට සිය ජීවිතාරක්ෂාව පතා පලා යමින් සිටින බවයි.

රුසියාවේද සහය ඇතිව සිරියානු රජය විසින් කැරලිකරුවන්ට එරෙහිව බටහිර සිරියාවේ සිය බලය තහවුරු කර ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරනු ලැබුවේ මිට සති කිහිපයකට පෙරයි.

ජීවිතාරක්ෂාව පතා ජෝර්දාන සහ ඊශ්‍රායේල් දේශසීමාව බලා පැමිණෙමින් සිටින සිවිල් වැසියන්ට එම රටවල් විසින් අවැසි සහන සැලසීම සිදුකලත් ඔවුන්ව තම  රටතුලට ඇතුල් වීම සඳහා ඉඩ ලබා නොදෙන බවද වාර්තා වනවා. ජෝර්දානය මේ වන විටත් ලක්ෂ 13 කට ආසන්න සිරියානු සරණාගතයින් සිය දේශසීමාව ආසනන්යේ පිහිටි යුධ මුක්ත කලාපයේ පිහිටි කඳවුරු තුල රඳවාගෙන සිටින අතර 2016 වසරේදී ඉස්ලාමිය අන්තවාදීන් විසින් එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් සිරියානු සරණාගතයින් වෙනුවෙන් සිය දේශසීමාව වසා දැමීමට තීරණය කරනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ 2018 වසරේ පසුගිය මාස 04 ක කාලය තුල සිදුවූ යුධ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 920,000 කට ආසන්න පිරිසක් රට අභ්‍යන්තරයේ අවතැන්ව සිටින බවයි.

මේ අතර රුසියාවේද සහය ඇතිව සිරියානු රජයේ හමුදාවන් දියත් කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ධාරා ප්‍රාන්තයේදී සිවිල් වැසියන් 55 දෙනෙක් සහ කැරලිකරුවන් 10 දෙනෙක් මිය ගොස් තිබෙනවා. මියගිය සිවිල් වැසියන් ගෙන් 16 දෙනෙක්ම කුඩා දරුවන් බවයි රෝහල් ආරංවි මාර්ග සඳහන් කරන්නේ. යුධ නිරීක්ෂකයින් සඳහන් කරන්නේ රුසියාව ප්‍රමුඛ සිරියානු රජය විසින් එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර වලට ගොදුරු වීමෙන් බහුතරයක් සිවිල් වැසියන් මිය ගොස් ඇති බවයි.

ඉකුත්දා රැස්වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින් සිරියාව පිළිබඳවූ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා පැවසුවේ ඉදිරියේදී දරුණු යුධ ගැටුම් ඇතිවීමේ අවධානමක් පවතින හෙයින් කොටුවී සිටින සිවිල් වැසියන් ගේ ජිවිත පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි.  ඒ හේතුවෙන් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු ආරක්ෂක කවුන්සිය්ලයෙන් ඉල්ලීමක් ද කර තිබුනා.