Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාවේ පැතිර යන අලුත්ම භීතියට ගොදුරු වී තවත් 05ක් මරුට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ළමුන් පැහැර ගැනීමට පැමිණි කල්ලියක සාමාජිකයින් පිරිසක් යැයි වරදවා ඇති කර ගත් සැකයක් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකුට ඉන්දියාවේ ,මහරාෂ්ඨ ප්‍රාන්තයේ ගම්වැසියන් පිරිසක් විසින් එල්ල කල පහරදීමක් හේතුවෙන් ඉන් පුද්ගලයින් 05 දෙනෙක් මිය ගොස් ඇති බව NDTV පුවත් සේවය වාර්තා කරනවා.

මහාරාෂ්ඨ ප්‍රාන්තයේ, ධුලේ නම් ගම්මානයේදී මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. ගම්වැසියන් ගේ ප්‍රහාරවලින් මිදී තවත් පුද්ගලයින් දෙදෙනෙක් පලා ගොස් තිබෙනවා.

මෙලෙස පහර කා මියගිය පුද්ගලයින් බස් රථයක් බලාපොරොත්තුවෙන් බස් නැවතුම්පලේ සිට ඇති අතර ඒ අවස්ථාවේදී කුඩා ළමයෙක් සමග කතා කරන අයුරු අසල සිටි ගම්වැසියන් පිරිසක් දැක තිබෙනවා. එම ගම්වැසියන් විසින් මෙම පුද්ගලයින් පිරිස දරුවන් පැහැර ගන්නා කණ්ඩායමක් ලෙස සැක සිතා පහරදී ඇති අතර අවසානයේදී එයට එකතුවූ තවත් පිරිස් මෙම පුද්ගලයින් 05 දෙනාට ගල් වලින් සහ පොලු වලින් පහරදී ඝාතනය කර ඇති බවයි මහරාෂ්ඨ පොලිසිය සඳහන් කරන්නේ.

එම පහර දීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙක් මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනිස් ඉන්ද්‍රියන් ලබා ගැනීම සඳහා ළමුන් පැහැර ගන්නා කණ්ඩායම් සැරිසරන බවට සමාජ මාධ්‍ය ජාල හරහා පැතිරී යන අසත්‍ය පුවත් හේතුවෙන් ඉන්දියාවේ විවිධ ස්ථාන වල ඇතිවූ පහර දීම හේතුවෙන් ඉකුත් සති කිහිපය තුල ඉන්දියාවේ පුද්ගලයින් 30 කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙනවා.