Wednesday, April 24, 2024

General line - 0115112241

දින 9ක් ගුහාවේ සිරවී සිටි තායිලන්ත දරුවන් සොයා ගැනේ (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තායිලන්තයේ Tham Luang ගුහාව නැරඹීමට ගොස් අතුරුදහන්ව සිටි පාපන්දු කණ්ඩායමක දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා ගැනීමට රාජකීය තායිලන්ත නාවික හමුදාවේ සීල් භටයින්ට හැකිවී තිබෙන බව BBC පුවත් සේවය වාර්තා කරනවා.
Chiang Rai ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ ළමුන් සහ පුහුණුකරු ආරක්ෂිතව සිටින බවත් මේ වන විට ඔවුන්ව භූගත ගුහාවෙන් පිටතට ගෙන ඒම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කරන බවයි.

" වැඩිවෙමින් පවතින ජලය සහ ගුහාවල මඩ පිරි ඇති නිසා එම ගලවා ගැනීමේ මෙහෙයුම් ඉතා සුක්ෂම ආකාරයෙන් කළ යුතුව තිබෙනවා" යැයි ආණ්ඩුකාර Narongsak Osottanakorn මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියා.

ගුහාව තුල සිටින සිරවී සිටින ළමුන්ගේ සහ පුහුණුකරුගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ ඔවුන් සිටින ස්ථානය කරා ගෙන යාමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සුදානම් වන බවද මෙහිදී ආණ්ඩුකාරවරයා පැවසිය.

" ඔවුන්ව සිරවී සිටින ගුහාවෙන් පිටතට රැගෙන ඒමේ ක්‍රියාවන්ට මුහුණ දීමට හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවාද යන්න මෙහිදී වෛද්‍යවරුන් පරික්ෂා කර බලා තීරණය කරන බවත් ඒ අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට සුදානම්" බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පසුගිය ජුනි 23 වනදා ගුහාව නැරඹීමට ගොස් අතුරුදහන් වූ පාපන්දු කණ්ඩායමේ ළමුන් සියලු දෙනා අවුරුදු 11 -16 අතර වියේ පසුවූවා. 

එම ළමුන් සහ පුහුණුකරු සොයා තායිලන්තය සිදුකළ මෙහෙයුම සඳහා අමෙරිකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවේ විශේෂඥවරුන්ගේ සහයද හිමිවී තිබුනා.