Saturday, April 20, 2024

General line - 0115112241

ගුහාවේ සිරවී සිටින දරුවන් පිටතට ගෙන්න මාස 04 ක් ගතවෙන ලකුණු (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තායිලන්තයේ Tham Luang උමං ගුහාව නැරඹීමට ගොස් දින 10 ක කාලයක් පුරා එහි සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ පුහුණුකරු යලි පිටතට ගෙන ඒම සඳහා සැලකිය යුතු කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බව ගලවා ගැනීමේ මෙහෙයුම් භාරව සිටින තායිලන්ත හමුදාව පවසනවා.

මෙයට හේතුව වී ඇත්තේ එම දරුවන් කිසිවෙකුට පිහිනීමට නොදන්නා බැවින් ඔවුන් සිරවී සිටින ගුහාවෙන් පිටතට ගෙන ඒමේ කාර්ය අසීරු වී තිබෙන බවයි හමුදා නිළධාරින් සඳහන් කරන්නේ.

" ඔවුන් කිමිදෙන්න ඉගෙන ගන්න වෙනවා නැත්නම් උමං මාර්ගයේ පිරි තිබෙන වතුර මට්ටම අඩු වෙනතුරු බලාසිටීමට සිදුවනවා" යැයි මෙහෙයුම භාරව සිටින හමුදා නිලධාරින් BBC පුවත් සේවයට පවසා තිබෙනවා.

" ජල මට්ටම පහල යන කල් අවම වශයෙන් තවත් මාස 04 ක කාලයක් ඔවුන්ට උමග තුල සිටීමට සිදුවේවි යැයි" හමුදාව පවසනවා. 

මේ වන විට උමං මාර්ගය තුල ජල මට්ටම වැඩි වෙමින් පවතින බැවින් සිරවී සිටින ළමුන් සහ පුහුණුකරු වෙත ආහාර ඇතුළු අත්‍යවශය ද්‍රවය ඔවුන් සිටින ස්ථානය කරා රැගෙන යාමට කිමිදුම්කරුවන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇත.

මේ අතර ළමුන් සිරවී සිටින උමගට විදුලිය හා දුරකථන සම්බන්ධතාවයන් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතුද සිදුකරමින් සිටින බව Chiang Rai ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසනවා. 

" උමග තුල සිරවී සිටින දරුවන්ට තම දෙමව්පියන් සමග කතා කිරීමට අවස්ථාවක් උදාකර දෙන්න හැකි සෑම කටයුත්තක්ම සිදුකරනවා" යැයි ආණ්ඩුකාරවරයා පවසා සිටියා.

අධික වර්ෂාව හේතුවෙන් උමග තුල පිරි තිබෙන ජලය පිටතට පොම්ප කිරීම දිගින් දිගටම සිදුකරත් එය ප්‍රතිපල රහිතවී ඇති බවයි ගලවා ගැනීමේ මෙහෙයුම් බලධාරීන් පවසන්නේ.

මේ අතර උමගේ සිරවී සිටින දරුවන් සමග සිටීමට වෛද්‍යවරුන් දෙදෙනෙක් ස්වෙච්ජාවෙන් ඉදිරිපත්වී සිටිනවා. ඔවුන් නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහයෙන් ඔවුන් දැනට සිටින උමං කුහරය බලා යාමට සුදානමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඉදිරි දින වලදී යලිත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් පිහිනිමට නොදත් දරුවන්ව උමගින් පිටතට රැගෙන ඒමේ ගැටලුවක් පවතිනවා. තායිලන්තයට බලාපාන මෝසම් වැසි තත්ත්වය ඉදිරි ඔක්තෝම්බර් මාසය දක්වා පවතිනු ඇති බවයි කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ.

පසුගිය ජුනි 23 වනදා Tham Luang උමං ගුහාව නැරඹීමට ගිය පාපන්දු කණ්ඩායමේ ළමුන් 12 දෙනා සහ පුහුණුකරු ඊයේ (02) දිනයේදී සොයා ගැනීමට හැකි වුයේ දින 09 කට පසුය. ඒ දිය පිරුනු උමං වල කිමිදුම් කිරීමේ විශේෂඥයින් වූ බ්‍රිතාන්‍ය ජාතික ස්වේච්ජා කිමිදුම්කරුවන් දෙදෙනෙක් විසින්. 

 

අතුරුදහන්ව සිටි ළමුන් පළමු වරට නාවික හමුදා කිමිදුම්කරුවන් සොයා ගත් අවස්ථාවේ දර්ශන