Friday, April 26, 2024

General line - 0115112241

ගුහාවේ සිරවී සිටින දරුවන් සොයා ගත් වීරයන් දෙදෙනා සිය කාර්යය අවසන් කළ හැටි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තායිලන්තයේ Tham Luang උමං ගුහාව තුල දින 09 ක් පුරා සිරවී සිටි ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සොයා ගැනීමට සමත්ව ඇත්තේ දුෂ්කර දිය යට උමං මාර්ගවල කිමිදුම් විශේෂඥයින් වන බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක් විසින් බව CNN පුවත් සේවය වාර්තා කර සිටිනවා.

මෙම දරුවන් සොයා සිදුකළ මෙහෙයුමට සහය ලබා දෙන මෙන් කරන ලද ඉල්ලීමකට අනුව බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම් විශේෂඥයින් වන ජෝන් වෝල්ටන් සහ රිචර්ඩ් සැන්ටන් ස්වෙච්ජාවෙන්ම සිය දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව තිබෙනවා.

දින කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුම් වලින් අනතුරුව පුරා දින 09 ක් අතුරුදහන්ව සිටි ළමුන් 12 සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා ගැනීමට ජෝන් වෝල්ටන් සහ රිචර්ඩ් සැන්ටන් සමත්ව තිබෙනවා. ඒ පොලොව මට්ටමේ සිට කිලෝමීටරයක අභ්‍යන්තරයේ පිහිටි ගුහාවක සිරවී සිටියදී.

කිමිදුම් විශේෂඥයින් වන ජෝන් වෝල්ටන් වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ උපදේශකයෙක් වන අතර රිචර්ඩ් සැන්ටන් විශ්‍රාමික ගිනි නිවීමේ  නිලධාරියෙක් ලෙස සේවය කර ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කරන්නේ.

මෙම පුද්ගලයින් දෙදෙනාම බ්‍රිතාන්‍යයේ උමං සහ භුමි අභ්‍යන්තරයේ හදිසි ගලවා ගැනීම සඳහා වන මෙහෙයුම් ඒකකයේ සාමාජිකයින් දෙදෙනෙක් වන අතර ලොවපුරා මෙවැනි හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සිය දායක්තවය ලබා දෙනු ලබනවා.

ළමුන් සිටින ස්ථානය නිවැරදිව සොයා ගැනීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන් දෙදෙනා විසින් ඔවුන්ට තමන් සතුව තිබු ආහාර සහ විදුලි පන්දම් දෙකක් ලබාදී යලි පිටතට පැමිණ තිබෙනවා.

පසුව තායිලන්ත නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ට එම ළමුන් සිටින ස්ථානය නිවැරදිව සොයා ගැනීමට හැකි වන ආකාරයේ මග ලකුනු තැබීමෙන් අනතුරුව කිමිදුම් විශේෂඥයින් දෙදෙනා ඔවුන්ගේ මෙහෙයුම අවසන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්  කරනවා.