Friday, March 29, 2024

General line - 0115112241

ICC තීරණය මැද ශ්‍රී ලංකා ක්‍රිකට් අවුල අභියාචනාධිකරණයේදී විභාග වෙයි

අධිකරණ වාර්තාකරු




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගැනීමේ නිලවරණය පැවැත්වීමට, පවතින ක්‍රීඩා නීතිය යටතේ අවශ්‍ය කටයුතු සිදු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව ක්‍රිකට් නිලවරණය, අලුතින් පත් කරන නිලවරණය කමිටුවක අධීක්ෂණය යටතේ සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා යෝජනා කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මෙම කරුණු නීතිපතිවරයා හරහා අද දින අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය අත්හිටුවීමට අභියාචනාධිකරණය මීට පෙර දින නියෝග කළා. 

මෙහිදී, මාස හයකට පෙර ක්‍රිකට් නිලවරණය නොපවත්වන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දන්වා ඇති බව ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අභියාචනාධිකරණයට දැන්වුවා.

මෙම පෙත්සමට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ එකගතාවය මත අතුරු තහනම් නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීරණය කල අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා ඉදිරිපත් කල පෙර නාමයෝජනා අවලංගු කොට අලුතින් නාමයෝජනා කැඳවා නව නිලවරණයක් පැවැත්වීමට ද සියලු පාර්ශ්වයන් මීට පෙර එකගතාවය පළ කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයේ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග අභියාචනාධිකරණයේ ගොනු කළ රිට්  පෙත්සමක් සලකා කැඳවු අවස්ථාවේ මෙම එකගතාවයන් ඉදිරිපත් කෙරුණා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා සැප්තැම්බර් මස 03 වැනි දා ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කළා.

මෙම  පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල ඇතුළු 27 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් අධිකරණය හමුවේ කියා සිටින්නේ ලබන 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාලගේ නාමයෝජනාව නීතියට පටහැනි බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා පත් කල නිලවරණ කමිටුව නීතියට පටහැනි ලෙසට පත් කර ඇති බව පෙත්සම්කරු පවසා සිටියා.

එම නාමයෝජනාව මත තිලංග සුමතිපාල අදාළ තනතුර සඳහා තරග කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සහ ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව පෙත්සම්කරු පවසා සිටිනවා.

තවද තිලංග සුමතිපාල නාමයෝජනාවට එරෙහිව ගොනු කළ විරෝධතා සැලකිල්ලට නොගෙන ඇති බවද පෙත්සම්කරු චෝදනා කර සිටියා.