Friday, March 29, 2024

General line - 0115112241

ගූගල් පිළිතුරු දෙයි




තෙවන පාර්ශ්වීය යෙදුම් සංවර්ධකයින්ට සමහර පරිශීලකයන්ගේ Gmailපණිවිඩ කියවිය හැකිය යන්න පිළිබඳ වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) සඟරාව පළ කළ තොරතුරු සම්බන්ධයෙන් ලොව පුරා මිලියන ගණනක පරිශීලකයන් කැළඹීමට පත්වීම හේතුවෙන් ගූගල් ආයතනය දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

එහිදී සිය ආයතනය තෙවන පාර්ශ්වයක් සමග කටයුතු කරන්නේ කෙසේදැයි ඉන් පැහැදිළිව විස්තර කර තිබෙනවා.

Gmail ගිණුම්වල පවතින තොරතුරු ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ පණිවිඩ හුවමාරු වන්නට පටන් ගැනීමත්  සමග මීට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා.

WSJ මඟින් නව හෙළිදරව් කිරීමක් සැබවින්ම සිදු නොවූ අතර පෞද්ගලිකත්වය පිලිබඳ සංවාදය නැවත ඇති කිරීමට එම ලිපිය සමත් වී ඇති බවයි ගූගල් සමාගම සඳහන් කරන්නේ. 

සංචාරක සැලසුම් සහ මිල සැසඳුම් වැනි සේවා සම්බන්ධයෙන් ගූගල් ආයතනය මගින් තෙවන පාර්ශ්වන් මැදිහත් කර ගැනීමේදී මෙය සිදුවන බවයි සඳහන්ව තිබුණේ.

වෝල් ස්ට්‍රීට් ජර්නල් විසින් මතු කරන ලද ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වමින් ගූගල් සමාගම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ තෙවන පාර්ශ්වයක් ප්‍රවේශ වීමට ඇති සෑම ක්‍රමවේදයකින්ම පෞද්ගලික දත්ත ප්‍රවේශමෙන් ආරක්ෂා කරන බවයි.