Friday, April 26, 2024

General line - 0115112241

මුහුදට ගසාගෙන ගිය කාන්තාවක් මාස 18ක පසු එම ඇඳුමින්ම නිරුපද්‍රිතව හමුවෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මුහුදු වෙරලකදී රළ පහරකට හසුවී මුහුදට ගසා ගෙන ගිය කාන්තාවක් ඊට මාස 18 කට පසුව නිරුපද්‍රිතව එම මුහුදු වෙරලේදීම සොයා ගැනීමට ඇයගේ පවුලේ ඥාතින්ට හැකිවීමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

53 හැවිරිදි Nining Sunarsih නම් වන මෙම කාන්තාව 2017 වසරේ ජනවාරි මාසයේදී සිය පවුලේ හිතවතුන් සමග ඉන්දුනීසියාවේ සුකාභුම් හි පිහිටි Citepus මුහුදු වෙරළේ නිවාඩුවක් ගත කිරීමට පැමිණ සිටියදී හදිස්සියේ පැමිණි විශාල රළ පහරකට හසුවී මුහුදට ගසා ගෙන යන අයුරු ඇයගේ සහෝදරිය සහ මුනුබුරා දැක තිබෙනවා.

නමුත් ඇයව බේරා ගැනීමට ඔවුන්ට නොහැකිවී තිබෙන අතර ඉන්දුනීසියානු පොලිසිය දින ගණනාවක්ම ඇයගේ සිරුර සොයා ගැනීමට මෙහෙයුම් දියත් කලත් එයද සාර්ථක වුයේ නැති බවයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.

මේ අතර පොලිසිය විසින් කාන්තා මල සිරුරක් සොයා ගෙන තිබුනු අතර සිදුකල DNA පරීක්ෂණයකට අනුව එම මළ සිරුර නොගැලපිම නිසා පොලිසිය කලකට පසු අතුරුදහන් වූ Nining Sunarsih සෙවීමේ මෙහෙයුම් අත්හැර තිබුනා. නමුත් ඇයගේ පවුලේ ඥාතින් හැකි සෑම විටකම ඇය අතුරුදහන් වූ මුහුදු වෙරළට ගොස් ඇය ගැන සෙවීමේ කටයුතු සිදුකර තිබුනා.

මිට මාස කිහිපයකට ඉහතදී Nining Sunarsih ගේ පියා රාත්‍රියේදී සිහිනයක් දැක තිබෙන අතර එහිදී ඔහු දැක ඇත්තේ අතුරුදහන් වූ ඇය මුහුදට ගසා ගෙන ගිය මුහුදු වෙරළේ තමන්ව එක්කන් යාමට එනතෙක් රැදී සිටින ආකාරයයි. ඔහු පළමුව තමන් දුටු ඒ සිහිනය ගැන විශ්වාස නොකර ඇති අතර අවස්ථා කිහිපයකදීම එම සිහිනයම රාත්‍රියේදී දැකීම හේතුවෙන් ඇයගේ ඥාතින් ඇය අතුරුදහන් වූ වෙරළ තිරයට පැමිණ යලි ඇයව සෙවීමේ කටයුතුවල නිරතවී තිබෙනවා.

එදින සවස් වරුවේදී ඔවුන්ට ඇය ගැන කිසිම හෝඩුවාවක් දැන ගැනීමට නොහැකිවී ඇති අතර රාත්‍රියේදී ඇය එම මුහුදු වෙරළේ සිටියදී සොයා ගැනීමට ඇයගේ සහෝදරියට හැකිවී තිබෙනවා. එම අවස්ථාව වනවිට ඇය අවසන් වරට හැඳ සිටි ඇදුමින්ම සිටීම සියලු දෙනාගේ විමතිය දනවන කරුණක් වී තිබෙනවා.

ඇය හමුවන විටදී සිහිමඳ ගතියකින් සිට ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන් මේ වන විට ඇය සුවය ලබා තිබෙනවා.

ඉන්දුනීසියාවේ සුකාභුමි පොලිස් ප්‍රධානියා පවසන්නේ පොලිසිය මෙම සිදුවීම ගැන විමර්ෂණයක් ආරම්භකර ඇති බවත් අතුරුදහන්ව සිට යලි හමුවූ කාන්තාවට කතා කිරීමට අපහසුතාවයක් පවතින බැවින් මේ දක්වා සිදුවුයේ කුමක්ද කියා දැන ගන්න නොහැකිවී ඇති බවයි.

නමුත් පොලිස් ප්‍රධානියා පවසන්නේ මෙම සිදුවීම ගැන නිසි විමර්ෂණයක් සිදුකර අවසන් කරන තුරු විවිධ නිගමයන් වලට නොඑළඹෙන ලෙසයි.