Friday, March 29, 2024

General line - 0115112241

බෝම්බයට දිවිදුන් මානව හිතවාදී නිලධාරියාගේ නමින් ඉදි කළ ගම්මානය (PHOTOS)

මාධව කුලසූරිය




ජිවිතක්ෂයට පත් ප්‍රාදේශීය ලේකම්වරයෙකු වන නාගලිංගම් නන්දකුමාර් මහතාගේ නමින්, ජනතා කැමැත්ත මත ගම්මානයක් ඉදිකොට විවෘත කිරීම අද (06) නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරුණා. මුලතිව් තුනුක්කායි ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කළ නාගලිංගම් නන්දකුමාර් මහතා, 2008 වර්ෂයේ ක්ලේමෝ බෝම්බයකට හසුව ජිවිතක්ෂයට පත්වුණා.

නිවාස සංවර්ධන අධිකාරිය යටතේ තුනුක්කායි ප්‍රදේශයේ ගම්මානය ඉදිකොට ඇති අතර, නන්ද කුමාර් තුනුක්කායි ජනතාව වෙනුවෙන් ‍සිදුකළ සේවාව වෙනුවෙන්  ගම්මානය "නන්ද කුමාර් නගර්" යනුවෙන් නම් තැබීම සුදුසු යැයි ගම්වාසීන් පවසා ඇති අතර, එහිදි අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ අනුමැතිය ඇතිව ගම්මානයට නන්ද කුමාර් නගර් යනුවෙන් නම් තැබු බවයි නිවාස සංවර්ධන අධිකාරි‍යේ නිලධාරීන් පැවසුවේ.

තුනුක්කායි ප්‍රදේශයේ යුද්ධයෙන් අවතැන් පවුල් 30 දෙනෙකු වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විතව නව නිවාස සංකීර්ණයක් මෙසේ ඉදිකොට තිබෙනවා.

වැඩසටහන් අවස්ථාවට එක්වු සජිත් ප්‍රේමදාස පැවසූවේ ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් ජනතා හදවත් තුළ සදා අමරණීය වන බව නන්ද කුමාර් වෙනුවෙන් ගම්මානයක් ඉදිකිරීම හරහා ඔප්පු වන බවයි.

වැඩසටහන් අවස්ථාවට නන්දකුමාර් මහතාගේ බිරිද අම්බිකා නන්දකුමාර්, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්ති ස්කන්ධරාජා ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.