Tuesday, April 23, 2024

General line - 0115112241

උමගේ රැදී සිටින ළමුන් ජිවිත අවධානමක: ඔක්සිජන් තත්ත්වය පහළට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තායිලන්තයේ Tham Luang භූගත උමගේ ඔක්සිජන් තත්ත්වය පහළ වැටෙමින් තිබෙන බැවින් දැනට එහි සිරවී සිටින ළමුන් 12 සහ ඔවුන්ගේ පුහුණුකරු ගලවා ගැනීමේ ඉක්මන් සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ අවධානමක් එරට රජයට සහ සහන සේවකයින් හමුවේ පැන නැගී ඇති බව CNN පුවත් සේවය වාර්තා කර සිටිනවා.

ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටි හිටපු තායිලන්ත නාවික හමුදාවේ කිමිදුම්කරුවෙක් උමග තුලදී මිය යාමත් සමග එහි ඔක්සිජන් තත්ත්වය පහත වැටෙමින් පවතින බවට බලධාරීන්ට ඒත්තු ගැන්වී තිබෙනවා.

මිට පෙර බලධාරීන් සැලසුම් කර තිබුනේ උමගේ තිබෙන ජල ගැලීම් තත්ත්වය පහත වැටෙන තෙක් මාස කිහිපයක් වුවද  ළමුන් සහ ඔවුන්ගේ පුහුණුකරු ඔවුන් දැනට සිටින ආරක්‍ෂිත ස්ථානයේම රඳවා තැබීමටයි. නමුත් දැන් එම සැලසුම වෙනස් කිරීමට සිදුවී තිබෙනවා.

ගලවා ගැනීමේ මෙහෙයුම් භාරව කටයුතු කරන තායිලන්ත රාජකීය නාවික හමුදාවේ විශේෂ මෙහෙයුම් බලකායේ ප්‍රධානියා අද (06) කියා සිටියේ උමග තුල ඔක්සිජන තත්ත්වය 15% කින් පමණ අඩුවී ඇති බවයි. මේ හේතුවෙන් ළමුන් රැදී සිටින උමං කුටීරය තුල රැදී සිටි 10 දෙනෙකු ගෙන් යුත් සහන සේවා නිලධාරින් සංඛ්‍යාව 5 දෙනෙක් දක්වා අඩු කිරිමට පියවර ගත් බවයි. එමෙන්ම උමග තුලට අමතර ඔක්සිජන් පිටතින් ලබා දීමටද අවශ්‍ය සියලු පියවර මේ වන විට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන වෛද්‍යවරුන් පවසන්නේ ඔක්සිජන් අවම වීමෙන් හයිපොක්සියා (hypoxia) රෝගී තත්ත්වයට ගොදුරු වීමේ අවධානමක් පවතින බවයි. 

මේ අතර උමගේ සිරවී සිටින ළමුන් ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සොයා බැලීම සඳහා අමෙරිකාවේ සුප්‍රසිද්ධ  SpaceX & Boring  සමාගමේ හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයෙක් Elon Musk විසින් සිය විශේෂඥයින් කණ්ඩායමක් තායිලන්තය බලා පිටත් කර එවීමට පියවර ගනු ලැබුවා.