Saturday, April 20, 2024

General line - 0115112241

රුසියානු අනුකම්පා විරහිත ගුවන් ප්‍රහාර හමුවේ සිරියාවේ කැරලිකරුවන් යටත් වෙයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රුසියාව විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම ගිවිසුමකට එකගතාවය පළකරමින් සිය අවි බිම තැබීමට සිරියාවේ දකුණු ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරතව සිටින කැරලිකරුවන් එකගතාවයකට පැමිණ ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. මේ වන විට දකුණු සිරියාවේ, ධීරා ප්‍රදේශය සිරියානු රජයේ හමුදාවන් විසින් රුසියාවේද සහය ඇතිව වටකොට ඇති බැවින් ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ. මෙය සිරියානු ජනාධිපති බෂාර් අල්- අසාද් ප්‍රමුඛ රජයේ හමුදාවන් ලද තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසයි දැක්වෙන්නේ.

වසර 03 කට අධික කාලයක් කැරලිකරුවන් විසින් සිය පාලනයට නතුකර ගෙන තිබු සිරියා-ජෝර්දාන නාසිබ් දේශසීමා පිවිසුම් මාර්ගයද සිරියානු රජයේ හමුදාවන් සිය යටතට ගැනීමට සමත් විය. ඒ රුසියාවේ ගුවන් ප්‍රහාර වලද සහය ඇතිවයි.

රුසියාව සමග ඇති කර ගනු ලැබූ එකගතාවයට අනුව මේ වන විට දකුණු සිරියාවේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ තිබෙන සියලුම නගර සහ ඔවුන් සතු අවි ආයුධ යලි භාරදීමට කැරලිකරුවන් එකඟ වී ඇති බවයි සිරියානු මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

යුධ ගැටුම් හේතුවෙන් අවතැන්වී සිටින දකුණු සිරියාවේ 320,000 ක් පමණ සිවිල් වැසියන්ට යලි සිය උපන් ප්‍රදේශ කරා යාමට ඉඩදීමට රුසියාව තීරණය කර ඇති බව කැරලිකරුවන් සඳහන් කර සිටිනවා.

පසුගිය වසර 07 ක කාලය තුලදී සිරියාව තුල ඇතිවූ යුධ ගැටුම් හේතුවෙන් මියගිය පිරිස දහස් ගණනක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ. 

දකුණු සිරියාවේ මෙහෙයුම් වලදී සිරියාවේ රජයේ හමුදාවන්ට අනගි සහයක් ලබා දුන්නේ රුසියානු ප්‍රහාරක යානා මගින්ය.   

මේ අතර සිරියානු ජනාධිපතිවරයා සිය මීලග ඉලක්කය ලෙස තෝරා ගෙන ඇත්තේ ඊශ්‍රායාලය සිය දේශසීමා ආරක්ෂා කරණයේ යෙදී සිටින ගොලන් හෙයිස්ට් ප්‍රදේශය යලි සිය පාලනය යටතට ගැනීමට බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා රුසියානු ප්‍රහාරක ජෙට් යානා මගින් දකුණු සිරියාවේ හදුනාගත් කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන ආකාරය රැගත් වීඩියෝව පහතින් නරඹන්න.