Saturday, April 20, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට එන්න : තායිලන්ත උමගේ සිරවී සිටින ළමුන්ට FIFA ආරාධනා කරයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජුලි මස 15 වනදා රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය නැරඹීම සඳහා පැමිණෙන ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා විසින්  තායිලන්තයේ භූගත උමගේ සිරවී සිටින ළමුන් 12 දෙනාට සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුට ආරාධනා කර තිබෙන බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

තායිලන්ත පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම දැනුම් දීම සිදුකර ඇති ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරන්නේ භූගත උමගේ සිරවී සිටින ළමුන් සහ ඔවුන්ගේ පවුල් වල අයට සිය කණගාටුව සහ සහයෝගය පළකරන බවයි.

" අවසන් මහ තරගයට පෙර ඔවුන්ට නිදහස් වීමට හැකිවේවා යැයි අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රුසියාව බලා ඒමට හැකි ලෙස ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවානම් ලෝක ශුරතා අවසන් තරගය නරඹන්න පැමිණෙන්නයි අප ආරාධනා කර සිටිනවා " යනුවෙන් එම ලිපියේ සඳහන්ව තිබෙනවා.

මේ අතර උමගේ සිරවී සිටින දරුවන් තමන් බලා ගැනීම සඳහා එම ස්ථානයට නිරන්තරයෙන්ම පැමිණෙන තායිලන්ත නාවික හමුදාවේ සීල් භටයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පාපන්දු ලෝක ශුරතා තරගාවලියේ පැවැත්වෙන තරගවල ලකුණු සටහන් සහ ඒ පිලිබඳ විස්තර ලබා දෙන ලෙසයි.