Friday, April 26, 2024

General line - 0115112241

ඉතිහාසයේ කිර්තිමත් රහස් ඔත්තුකරුවෙකු වෙනුවෙන් සිදුකළ මෙහෙයුම (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්





ඊශ්‍රායලයේ " මොසෑඩ්" රහස් ඔත්තු සේවාවේ සිටි කීර්තිමත් රහස් ඔත්තුකරුවෙක් වන එලී කොහෙන් ( Eli Cohen) විසින් පළදන ලද බව කියන අත් ඔරලෝසුව වසර 53 කට පසුව සොයා ගැනීමට එම රහස් ඔත්තු සේවයට හැකිවූ බව එරට අගමැති කාර්යාලය  වාර්තා කරනවා.

ජිප්තුවේ උපත ලැබූ  Eli Cohen ඊශ්‍රායලය විසින් මොසෑඩ් ඔත්තු සේවාව සඳහා බඳවා ගනු ලබන්නේ 1960 වසරේදී. ඔහු ඉන් පසුව සිරියාවේ සිට එම රජයේ රහස් සියල්ලම ඊශ්‍රායලයට ලබා දීමට කටයුතු කළ විශිෂ්ඨ ඔත්තුකරුවෙක් බවයි මොසෑඩ් සංවිධානය හදුන්වනු ලබන්නේ.

කෙසේ වුවත් රාජ්‍ය රහස් ලබා දීම සම්බන්ධයෙන් 1964 වසරේදී ආරක්ෂක අංශ විසින් Eli Cohen ව සිරභාරයට ගන්නා අතර පසුව 1965 දී සිරියාවේ, දමස්කස් අගනුවරදී ප්‍රසිද්ධියේ එල්ලා මරා දමනු ලැබුවා. 

එසේ එල්ලා මරා දමන ලද Eli Cohen ගේ සිරුර තැන්පත්කළ ස්ථානය පවා රහසක් වශයෙන් තබා ගැනීමට සිරියානු බලධාරීන් පියවර ගත් අතර මෙම අත් ඔරලෝසුව ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පැලඳ සිට ඇති බවටයි වාර්තා වන්නේ.

මොසෑඩ් සංවිධානය විසින් සිදුකළ දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව Eli Cohen විසින් පළඳන ලද අත් ඔරලෝසුව යලි ඊශ්‍රායලය බලා රැගෙන පැමිණි බවයි වාර්තා වන්නේ.

1962 වසරේදී ව්‍යාපාරිකයෙක් වශයෙන් ව්‍යාජව පෙනී හිදිමින් සිරියාව සමග ගනුදෙනු කිරීමට පටන් ගන්නා ඔහු අවස්ථා ගණනාවකදී එහි සංචාරයේ නිරත වෙමින් ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ නිරතව සිට තිබෙනවා. සිරියානු දේශපාලකයින් සහ උසස් බලධාරින් සමග ඇති කර ගත් යහපත් සම්බන්ධතා හේතුවෙන් එරට රාජ්‍ය රහස් විශාල වශයෙන් දැන සිටි පුද්ගලයෙක්වූ Cohen ඒවා නියමිත ආකාරයට ඊශ්‍රායලයට ලබා දීමට පියවර ගනු ලැබුවා. 

එසේ ලබා දුන් තොරතුරු අතර 1967 වසරේ අරාබි යුද්ධයේදී ගෝලන් හයිට්ස් හිදී සිරියානුවන් පරාජය කිරීමට Eli Cohen ඝාතනය වීමට පෙර ලබාදුන් තොරතුරු ඉවහල් වී තිබෙනවා.

සිරියාව වරක තම රටේ නියෝජ්‍ය ආරක්ෂක අමත්‍යවරයා ලෙස Eli Cohen තෝරා පත්කර ගැනීමේ සුදානමක් පැවති බවද සදහන්. 

එලෙස සොයා ගනු ලැබූ Eli Cohen ගේ අත් ඔරලොසුව පසුගියදා ඔහුගේ බිරිඳ වෙත ලබාදීමට එරට අගමැති කාර්යාලයේදී සිදුවිය. එහිදී අගමැති බෙන්ජමින් නෙතන්නියාහු කියා සිටියේ " ඊශ්‍රයලයේ ආරක්ෂාව වෙනුවෙන් ඉමහත් කැප කිරීමක් සිදුකළ පුද්ගලයෙකු වෙනුවෙන් ඔහුගේ මතකය රඳවා තැබීමට හැකි සිහිවටනයක් යලි මව්බිමට රැගෙන ඒම වෙනුවෙන් සිදුකළ කැපකිරීම් වෙනුවෙන් තමන් "මොසෑඩ්" ඔත්තු සේවයේ නිලධාරින් පිළිබඳව සතුටට පත්වන බවයි."