Thursday, April 25, 2024

General line - 0115112241

සිරවී සිටින ළමුන් 12 දෙනා බේරා ගන්න සිදුකරන අලුත්ම මෙහෙයුම (VIDEO/ PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




Tham Luang  උමග තුල සිරවී සිටින ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ගලවා ගැනීමේ බලාපොරොත්තුවෙන් සහන කණ්ඩායම් විසින් ඔවුන් සිටින කන්දේ ස්ථාන 100 ක පමණ කැණීම් කිරීමට ආරම්භ කිරීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

උමග තුල පිරි තිබෙන ජලය අඩු නොවීම සහ ඉදිරි දින වලදී ඇති විය හැකි වැසි තත්ත්වය සහ ළමුන් සිටින කුටීරය තුල ඔක්සිජන් අඩු වෙමින් පැවතීම යන කරුණු හේතුවෙන් සිරවී සිටින පිරිසගේ දිවි ගලවා ගැනීම සඳහා හැකි සෑම උත්සහයක් දැරීමට තායිලන්ත බලධාරීන් මේ වන විට කටයුතු අරඹා තිබෙනවා.

යම් හෙයකින් මෝසම් වැසි ඇතිවීමත් සමග උමග ජලයෙන් යටවුවහොත් ඒ හරහා ළමුන් සිටින ගල් කුටීරය තුලට ප්‍රවේශ වීම අපහසුවීම හේතුවෙන් මෙලෙස කැණීම් සිදුකර ඔවුන් සිටින ස්ථානයට යා හැකි මාර්ගයක් සකස් කර ගැනීම සහන සේවකයින්ගේ මුලික බලාපොරොත්තුව වී ඇති බවයි වාර්තා වන්නේ.

ළමුන් සිරවී සිටින උමග පිහිටි තායිලන්තයේ Chiang Rai ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ගුහාවේ සිරවී සිටින ළමුන් හා ඔවුන්ගේ පුහුණුකරු මේ වන විට පිහිනීම සඳහා පුහුණු වෙමින් සිටින බවත් අද හෝ හෙට දිනයේදී ඔවුන් පිටතට රැගෙන ආ හැකි මට්ටමේ නොසිටින බව කියා සිටියා.

" ඉතා දුෂ්කර ගමනක් ඔවුන්ට එන්න තිබෙන්නේ. පටු මාර්ගයකින් පිහිනා එන එක ආධුනිකයින්ට පහසු නැහැ. ඔවුන් ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ ශරිර ශක්තිය මේ වන විට උපරිමයට ලගා වෙලා නැහැ. අවම වශයෙන් පුහුණුවීමක් ඇති කිමිදුම්කරුවෙක්ට ළමුන් සිටින ස්ථානයේ සිට ඒමට පැය 05 ක කාලයක් ගතවනවා. ලේසි පහසු මාර්ගයක නෙමෙයි ඔවුන් යාම් ඊම් සිදුකරන්නේ" යනුවෙන් ආණ්ඩුකාරවරයා වැඩිදුරත් කියා සිටියා.

මේ අතර පසුගිය සිකුරාදා දිනයේදී පමණක් උමග තුල පිරි තිබු ජලය ලීටර් මිලියන 130ක් පොම්ප කිරීමෙන් ඉවත් කිරීමට සහන සේවකයින්ට හැකිවී තිබෙනවා. 

අතුරුදහන්වූ ළමුන් මුලින්ම සොයා ගන්නා ලද බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන් දෙදෙනා ඊයේ (07) දිනයේදී යලිත් ළමුන් සිටි ස්ථානයට ගොස් ඔවුන් සමග කාලය ගත කර නැවත පැමිණි බවත් ඔවුන් මානසිකව සහ කායිකව ශක්තිමත්ව තැබීම ඉතා වැදගත් බවයි සඳහන් කර සිටියේ.

ළමුන් සුදානම් වූ විගස නාවික හමුදා සීල් භටයින්ගේ සහයද සහිතව එකවරට ළමුන් දෙදෙනා බැගින් උමගින් පිටතට ගෙන ඒමට සුදානමින් සිටින බවයි.

කෙසේ නමුත් තායිලන්ත නාවික හමුදා ප්‍රධානියා සඳහන් කර සිටින්නේ ඔවුන්ට තිබෙන කාලය වේගයෙන් ගෙවී යන බවයි.