Thursday, April 25, 2024

General line - 0115112241

මරණ දඬුවම දිය හැකි 13ක් හඳුනාගැනේ

නිශාන් ද සිල්වා




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදුනහොත් කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට මරණ දඬුවම ලබාදිය නොහැකි තත්වයක් උදා වී තිබෙනවා.

ඒ, ඔහු සිය දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන්. වෙලේ සුදා පමණක් නොව තවත් ප‍්‍රධාන ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුම මෙම දඬුවමට යටත් නොවනු ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ.  

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරු වී සිටියදීත් යළි එම ජාවාරමේ නිරත වන සිරකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ.

එලෙස මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරිමට හැකි පුද්ගලයින් 19 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කැබිනට් මාධ්‍ය හමුවේදී ඊයේ (11) ප‍්‍රකාශ කෙරුණේ. එහෙත් මේ වනවිට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරිමට හැකි පුද්ගලයින් සංඛ්‍යාව 13 ක් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ, 19 දෙනා අතරින් 06 දෙනෙකු තමන්ට ලබා දී ඇති මරණ දඩුවමට එරෙහිව අභියාචනා ගොණුකර තිබීම හේතුවෙන්. 

මේ වනවිට මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක්ව ඇති මුළු රැදවුවන් ගණන 643ක්. ඉන් 472 දෙදෙනෙකු මේ වනවිට අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මේ වනවිට සිරදඩුවම් විදින සිරකරුවන් සංඛ්‍යාව 10,535 ක්.