Friday, April 19, 2024

General line - 0115112241

මරණ දඩුවම නියම වූ 18 දෙනෙකුගේ නම් අවසන් ලැයිස්තුවට

නිශාන් ද සිල්වා




මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටින රැඳවියන් 18 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ කියා සිටියේ ඒ අතරට කාන්තාවක් ද අයත් බවයි. 

පකිස්තාන ජාතිකයින් හතර දෙනෙකු ද එම ලැයිස්තුවට අයත්. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් මරණ දඩුවම නියම වූ පිරිස පිළිබඳ පමණක් එහිදී දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම මෙම පිරිස අදාළ දඩුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් නොකළ පිරිස බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරු වී සිටියදීත් යළි එම ජාවාරමේ නිරත වන සිරකරුවන්ට එරෙහිව මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ. එහෙත් මෙලෙස යොමු කර ඇති 18 දෙනා මරණ දඩුවමට නියම වූවන් මිස යළි එම ජාවාරම සිදු කරන පිරිසක්දැයි ප‍්‍රකාශ කිරීමට තම දෙපාර්තමේන්තුවට නොහැකි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ කියා සිටියේ. 

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මේ වනවිට සිරදඩුවම් විදින සිරකරුවන් සංඛ්‍යාව 10,535 ක්.