Saturday, April 20, 2024

General line - 0115112241

රථ වාහන වරදක් වෙනස් කිරීමට සලකා බැලේ

සජිත් තිලකරත්න




මේ වනවිට ක‍්‍රියාත්මක නව ස්ථානීය දඩ පත‍්‍රිකාවට අයත් රථ වාහන වරදක් වෙනස් කිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

එ්, ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වූ දැඩි විරෝධතා මධ්‍යයේයි. 

රිය ධාවනය කරන අවස්ථාවේදී දුම් සහතිකය නොමැති වීම යන වරදට රුපියල් 500ක දඩයක් අලූතින් හඳුන්වා දී තිබෙනවා. එහෙත් වාර්ෂික ආදායම් බලපත‍්‍රය ලබා ගැනීමේ දී දුම් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කරුණක්. එවැනි තත්වයක් තුළ ආදායම් බලපත‍්‍රය සමග දුම් සහතිකයද රැගෙන යාම කෙතෙරම් ප‍්‍රායෝගිකදැයි නෙත් නිවුස් මීට ඉහතදී ද පෙන්වා දුන්නා. බස් සංගම් ඇතුළු ප‍්‍රවාහන සංගම් ද මෙම නව දඩය සම්බන්ධයෙන් පළ කරන්නේ විරෝධයක්.

එල්ල වන විරෝධතා සහ එහි ඇති ප‍්‍රායෝගික අපහසුතා පිළිබඳ නෙත් නිවුස් ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් විමසීමක් කළා. 

එහිදී  "රක්ෂණාවරණය තියෙනවා නම් ආදායම් බලපත්‍රය තියෙනවා නම් දුම් සහතිකය තියාගන්න අපහසුවක් නෑනේ. ඒකත් කොළයක් නේ. මේකට විරෝධය පාන්නේ දුම් සහතිකය ගන්නේ නැතුව ඉන්න හදන අය වෙන්න ඇති." යනුවෙන් සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම නව නීතිය හේතුවෙන් වැඩි වශයෙන් අපහසුතාවට පත්වන්නේ යතුරුපැදිකරුවන්. එබැවින් ඊට සහනයක් ලබා දෙන්නේදැයි නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා. ඒ අනුව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ දුම් සහතිකය රැගෙන යාම අනිවාර්ය කිරීමේ නීතිය වෙනස් කිරීමට සලකා බලන බවයි.

රථ වාහන වැරදි 33ක් සම්බන්ධයෙන් වන නව ස්ථානීය දඩ ඊයේ (15) සිටි ක‍්‍රියාත්මකයි.