Thursday, March 28, 2024

General line - 0115112241

ලෝක කුසලාන තරග පැවති ක්‍රීඩාංගන දෙකක ඉරණම තීන්දුවූ හැටි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පවත්වන ලද රුසියාවේ ක්‍රීඩාංගන දෙකක් කඩා වැටීමේ අවධානමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අවසන් වී දින දෙකක් ගත වීමට පෙර වාර්තාවූ මෙම සිදුවීමත් සමග එම ක්‍රීඩාංගන දෙකේ ආරක්ෂාව සහ තරගයක් අතරවාරයේදී මෙවැනි සිදුවීමක් වුවා නම් එහි සිටින දහස් ගණන් නරඹන්නන් ගේ ආරක්ෂාව ගැන බරපතල ගැටලුවක් මතුවීමට ඉඩ තිබුණු බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මෙම ක්‍රීඩාංගන ඉදිකර ඇත්තේ රුසියානු ජනාධිපති වලැදීමිර් පුටින්ගේ හිතවතෙක් වන Gennady Timchenko විසින් හිමිකාරිත්වය දරණ JSC Stroytransgaz සමාගම විසින් බවයි වාර්තා වන්නේ.

පසුගිය දා ඇතිවූ ධාරාණිපාත වර්ෂාවත් සමග ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය සහ ටියුනීසියාව අතර තරගය පැවැත්වූ Volgograd ක්‍රීඩාංගනය පිහිටි ස්ථානයේ භුමිය දෙකට පැලී විශාල විවරයක් මතුවී ඇති අතර එම ක්‍රීඩාංගනය ඉදිකිරිම සදහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 198 ක් වැයවී ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරනවා. 

Volgograd ක්‍රීඩාංගනයේ මල පද්ධතිය, ජලනල පද්ධතියද මේ වන විට විනාශවී ඇති අතර වර්ෂාවත් සමග ගලා ආ පස් සහ වැලි වලට යටවීමෙන් වාහන ගාල් කිරීමේ ස්ථානයේ නතර කර තිබෙන වාහන පවා පිටතට ගත නොහැකි තත්ත්වයක් ඉස්මතුවී තිබෙනවා.

මේ අතර පාපන්දු කුසලානයේ තරග පවත්වන ලද Nizhny Novgorod ක්‍රීඩාංගනය අවට ඉදිකර තිබු පදික මාර්ගයන් මේ වන විට වර්ෂාවට සෝදාගෙන ගොස් ඇති අතර මෙම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සෑහීමට පත්වන්නට හැකියාවක් නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.