Thursday, April 18, 2024

General line - 0115112241

'ඒ මෝඩකම් අදින් අවසන්' ට්‍රම්ප් - පුටින් හමුවේ ප්‍රතිඵල මෙන්න

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජනාධිපති වලැදීමිර් පුටින් සමග පැවති ද්වි පාර්ශවික සාකච්ජාවත් සමග රුසියාව සහ අමෙරිකාව අතර ශක්තිමත් සබඳතාවයක් ඇති කර ගැනීමට හැකිවූ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර සිටිනවා. 

අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළකලේ ෆින්ලන්තයේ පැවති අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් දෙදෙනාගේ සමුළුවෙන් පසුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින්.

දෙරට අතර තිබෙන සම්බන්ධතාවය එතරම් නරක නොවුනත් ගතවූ පැය 04 ක කාලය තුලදී එය වඩාත් ශක්තිමත් වූ බව ජනපති ට්‍රම්ප් පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

2016 වසරේදී පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය කරවීමට රුසියාව මැදිහත්වූ බවට පළවන වාර්තාවන් තමන් ප්‍රතික්ෂේප කරන බව පැවසූ ජනාධිපති පුටින් කෙසේ වෙතත් ජනාධිපතිවරණයට තරග කළ හිලරි ක්ලින්ටන් පරාජයට පත්වනවා දැකීම තම බලාපොරොත්තුව වූ බව මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියා.

" ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිබඳව මගේ බලාපොරොත්තුවක් තිබුනා. ඔහු මැතිවරණයේදී පවසා සිටියා තමන් ජයග්‍රහණය කළහොත් රටවල් දෙක අතර පවතින ගැටළු නිරාකරණය කරගෙන එම තත්ත්වය සාමාන්‍ය අතට පත්කිරීමට කටයුතු කරනවා කියා " රුසියානු ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

2016 වසරේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා ගේ පලකළ අදහස් සනාථ කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ තමන්ද එය පිළිගන්නා බවයි. නමුත් අප රටේ තිබෙන FBI සංවිධානය මෙතෙක් සිතා ගෙන ඉන්නේ අමෙරිකාවේ ජනාධිපතිවරණයට රුසියාවේ අතපෙවීමක් සිදුවූ බවයි යනුවෙන් යැයි කියා සිටියා.

රුසියානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ කිසිවිටක අමෙරිකාවේ මැතිවරණයකට අතපෙවීමට තම රට කටයුතු නොකරන බවත් අවශ්‍ය නම් සිදුකරන විමර්ශන සදහා තම රටේද සහය ලබාදීමට හැකි බවයි.

" අපි දෙගොල්ලන්ම මෝඩයෝ...අපි දෙපාර්ශවයම වැරදි කළා. ඒ මෝඩකම් අදින් අවසන්. අපි අලුත් පරිච්ජේදයක් ආරම්භ කරනවා අද පටන් අපේ සාකච්ජාවන් ඉදිරියට කරගෙන යනවා. මේ සමුළුව තුලින් අපේ රටවල් දෙකේ සම්බන්ධතාවය ශක්තිමත් වුනා" යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියා.

රුසියානු ජනාධිපතිවරයා සිය රටේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සිහිගන්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙතට පාපන්දුවක් පිරිනමනු ලැබුවා. 2026 වසරේදී ලෝක පාපන්දු ශුරතා තරගාවලිය උතුරු අමෙරිකාවේ පැවැත්වීමට නියමිත බැවින් එය සංකේතවත් කරමින් තමන් මෙම පාපන්දුව පිරිනැමූ බවයි රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ.

මේ අතර ඇමෙරිකාවට අවශ්‍ය ඕනෑම මොහොතක සයිබර් ආරක්ෂණ සහ ත්‍රස්ත ගැටලු සම්බන්ධයෙන් උපකාර කිරීමට රුසියාව කටයුතු කරන බව ජනපති පුටින් මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

ත්‍රස්තවාදය තුරන් කිරීමට සහ සයිබර් ප්‍රහාරයන්ට එරෙහිව අමෙරිකාව සහ රුසියාව එකගතාවයකින් කටයුතු කිරීමට මෙහිදී රාජ්‍ය නායකයින් එකඟ විය.