Tuesday, April 23, 2024

General line - 0115112241

රට විජාතිකයින්ට විකුණා ගත් අල්ලස් මුදලින් රාජපක්ෂලා ජනතාව ගොනාට අන්දවනවා - එජාප මහ ලේකම්




රට සින්නක්කරව විජාතිකයින් අතට පත්කොට ඔවුන්ගෙන්ම ලබා ගත් අල්ලස්වලින් රටේ ජනතාව ගොනාට අන්දන රාජපක්ෂ රෙජිමයේ උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවා. එම යථාර්ථය ජනතාව තේරුම්ගත යුතු බවයි, නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමබන්ධයෙන් පැවති විවාදයේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

"රටේ අයිතිය වෙන අයට පවරලා විතරක් නතර නොවුණු රාජපක්ෂ රෙජිමය රටේ බුද්ධි අංශ, බුද්ධි තොරතුරු පවා වෙනත් රටවලට පාවලා දුන්නු විදිය නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙලිකරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම්වරයකු සහ චීනයේ තානාපති ලෙස කටයුතු කළ නිහාල් රොද්‍රිගු තමයි මේක අනාවරණය කරලා තියෙන්නේ.

චයිනා හාබර් සමාගම පනවපු හැම කොන්දේසියකටම එකඟ වෙලා මේ රට පාවලා දුන්නු රාජපක්ෂ රෙජිමය මේ හැම ගනුදෙනුවකටම අල්ලස් ලබාගත්තා. රාජපක්ෂලාට කොහොමත් සූදුව අල්ලස පුරුදුයි. 2005 දි එල්.ටී.ටී.ඊ. සංවිධානයට අල්ලස් දීලා උතුරු නැගෙනහිර ඡන්ද වලක්වලා බලයට ආපු හැටි, ඒකට බැසිල් රාජපක්ෂ නායකත්වය දුන්න හැටි, ඒවට සම්බන්ධ වුණු ශ්‍රීපති සූරියආරච්චි මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තුවේදීම අනාවරණ කළා.

සුනාමි ව්‍යසනය වෙලාවේ තමනගේ ප්‍රදේශයේම ජනතාවට ආධාර දෙන්න වෙන්කරපු හෙල්පින් හම්බන්තොට ගිණුම රාජපක්ෂ මහත්තයලා එකතු වෙලා වාෂ්ප කරපු විදිහ ගැන නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් තමා දුක් වෙන බව හිටපු අගවිනිසුරුවරයා පහුගිය කාලයේ මාධ්‍ය හමුවේ සඳහන් කළා. ඔන්න ඒ කාලේ නීතිය හැටි.

අද රටේ තෙල් මිල ගැන හඬාවැටෙන කතා කරන ගණන් බැරි රාජපක්ෂ මහත්තයා ඇතුළු ඒකාබද්ධ නඩේට අමතකයි රාජපක්ෂලාට සූදු කෙළින්න 160 ගණන්වලට පෙට්‍රල් විකුණපු කාලයක් තිබුණා. හෙජින් සූදුවෙන් ජනතාවට වෙන පාඩුව වළක්වන්න පෙට්‍රල් ලීටරය රුපියල් 100ට ලබාදෙන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළාම ඒ නියෝගවලට පයින් ගහලා වැඩි මිලට රාජපක්ෂලා තෙල් විකුණපු හැටි අපට අමතක නැහැ.

මේ වගේ සූදු කෙළලා රට උගස්කරලා සල්ලි අරන් රටේ මහා සංඝරත්නය රවට්ටලා උපාසක අම්මලා රවට්ටලා සිවුරු පිරිකර රෙදි පිරිකර යාන වාහන බෙදලා රටම අදටත් මුලාකරමින් යනවා. මෙහෙම අයට මේ වගේ වංචා අරුමයක් නොවුණට මේ රටේ ජනතාව මේවා තේරුම්ගත යුතුයි.

මේ වෙන කොට චයිනා හාබර් සමාගම සම්බන්ධ වෙලා රටේ ජනතාව ගොනාට අන්දලා අරගෙන ගියපු වැඩසටහන එළිවෙලා තිබෙනවා. අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන හොයන්න කියලා. රටේ ජනතාව ගොනාට අන්දන්න තමන්ගේ බිරින්දෑවරුන්ලවාත් අල්ලස් ගත්ත හැටි එළිවෙලා තියෙනවා. රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ පුද්ගලික පදනමකට ගෙවා ඇති අයුරු අද හෙලි වී තිබෙනවා. අද අදාළ අය විවාදයට ඇවිත් නෑ.

වෙනත් දේවල් කියා කියා අවදානය වෙනස් කිරීමේ උත්සාහයක යෙදීම අපි තරයේ හෙළ දකිනවා. අප සතුව බොහෝ තොරතුරු තිබෙනවා.චෙක් පත් මාරු කරපු විදිය,මාරු කරපු බැංකු පිළිබද තොරතුරු තිබෙනවා. පුෂ්පා රාජපක්ෂගේ ගිණුමට මුදල් බැර වුනු ආකාරය අද හෙළි වී තිබෙනවා.මේ දේවල් වලට වන්දි ගෙවන්න වෙලා තියන්නේ රටේ ජනතාවට." යැයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.