Thursday, March 28, 2024

General line - 0115112241

ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන ස්ථාවරය ඇමති සාගල පාර්ලිමේන්තුවට කියයි

සජිත් තිලකරත්න




ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය දැන් තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට මේ දක්වා කිසිදු සූදානමක් නැතැයි අමාත්‍ය සාගල රත්නායක පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (20) නැගුණු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ප‍්‍රශ්නය ඇසුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩියි. යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ගාලූ කොටු පවුර ඉවත් කිරීමට අවදානමක් ඇතැයිද, ඒ හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ඉවත් කිරීමට තීරණය කර ඇතැයිද, වාර්තා පළ වන බව ඔහු පැවසුවා.

ඒ පිළිබඳ රජයේ සත්‍ය තීරණය කුමක්ද යන්නයි එහිදී ප‍්‍රශ්න කෙරුණේ.අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද මීට පිළිතුරක් ලබාදුන්නා. ඔහු පැවසුවේ අදාළ කරුණු පිළිබඳ විමර්ශනය කිරීමට නිලධාරීන් කණ්ඩායමක් පත්කර ඇති බවයි. ඔවුන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන රජයේ අවසාන තීරණය සති දෙකකින් ලබාදෙන බවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවා. 

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ප‍්‍රශ්නය ඇත්තේ ක‍්‍රීඩාංගණයේ නොව ගොඩනැගිල්ලක බවටද අදහස් පළ වන බවයි. එසේ නම් එම ගොඩනැගිල්ල පමණක් ඉවත් කර ක‍්‍රීඩාංගණය තවදුරටත් පවත්වාගෙන යා හැකි බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නා. ඒ පිළිබඳව ද අවධානය යොමුව තිබෙන බවයි අමාත්‍ය සාගල රත්නායක පැවසුවේ.