Tuesday, April 23, 2024

General line - 0115112241

බැලුම්ගල අනාවරණයෙන් අධිකරණ නිලධාරියාගේ වැඩ තහනම්

චාමිකර බණ්ඩාර/ පසන් වික්‍රමතිලක




නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් කෙරුණු අනාවරණයකට අනුව අධිකරණ නිලධාරියෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මෙම අධිකරණ නිලධාරියා කොළඹ දිසා අධිකරණයට අනුයුක්තව සේවයේ යෙදී සිටි යු ඒ උපාලි සරත්චන්ද්‍ර නමැත්තෙක්. අල්ලස් ලබා ගැනීම, සිතාමතා නඩු කටයුතු ප‍්‍රමාද කිරීම සහ ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමට නඩුවල පාර්ශවකරුවන්ට උපදෙස් දීම වැනි අක‍්‍රමිකතා ඔහු විසින් සිදු කරන බව නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් අනාවරණ කෙරුණා. මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් ද සිදු කරන බවයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් එම් එම් ආර් අධිකාරී පැවසුවේ.


අදාළ අක‍්‍රමිකතාවල නිරත තවත් අධිකරණ නිලධාරියෙකු පිළිබඳව ද නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් අනාවරණ කෙරුණා. ඔහු සම්බන්ධයෙන් සුදුසු ක‍්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන බවයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවේ. 

නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් අනාවරණ කෙරුණු මෙම අක‍්‍රමිකතාවන්ට අදාළව වීඩියෝ දර්ශන ද බැලූම්ගල විසින් අධිකරණ අමාත්‍යංශය වෙත ලබාදුන්නා.