Wednesday, April 24, 2024

General line - 0115112241

යුනෙස්කෝව "අනතුරුදායක" යැයි නම්කර නැති ගාල්ල ක්‍රීඩාංගනය ඉවත් කරන්න යන්නේ ඇයි ?

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මතක රැසක් අපට දායාද කර දුන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු නොකරන මෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට්ව්ටර් පණිවිඩයක් තබමින් බලධාරීන් ගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථකතත්වයක් ලගා කර දුන් ක්‍රීඩාංගනයක් වන ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට රට තුල මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුලද  දැඩි කතා බහට ලක්ව තිබෙන කරුණක් බවට පත්වී තිබෙනවා.

ගාල්ල ජාතයන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හේතුවෙන් ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර තිබෙන ගාලු කොටුව ඉවත් කිරීමේ අවධානමක් මතුවී ඇති බව ඉකුත්දා අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටියා. මේ හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පින්නදුව ප්‍රදේශයට රැගෙන යාමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. 

කෙසේ වුවත් යුනෙස්කෝ සංවිධානය මේ වන විට ලොව පුරා තිබෙන ලෝක උරුම ස්ථාන 54ක් අනතුරුදායක ස්ථාන ලෙස ලෙස නම් කර තිබෙන අතර එම ලැයිස්තුව අතරට ගාල්ල කොටුව ඇතුලත්ව නොමැති වීමද විශේෂත්වයක්.

එසේ අනතුරුදායක ලැයිස්තුව අතරට ගාලු කොටුව යුනෙස්කෝ සංවිධානය ඇතුලත් නොකර තිබියදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය නිසා ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අනතුරක් පවතින බවට රජයේ ඇමතිවරයෙක් සහ බලධාරීන් පවසන්නේ කුමන පදනමක් මතද යන්න ගැටළු සහගත තත්ත්වයක් ඉස්මතුවී තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීමේ තීරණයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිරිපිට හෙට (21) දින උදැසන 9 ට විරෝධතාවයක්ද සංවිධානය කර තිබෙනවා. එම විරෝධතාවය සංවිධානය කරනු ලබන පිරිස සදහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට අමතක නොවන මතක එක් කර දුන් ගාලු ක්‍රීඩාංගනය මතු පරපුර සදහා ආරක්ෂා කර දීමේ වගකීම වෙනුවෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙන බවයි.

යුනෙස්කෝව නම් කර තිබෙන ලෝක උරුමයන්ගේ  "අනතුරුදායක" ලැයිස්තුවට මෙතනින් පිවිසෙන්න  
 

ගාල්ල ක්‍රීඩාංගනයට "අත නොතබනු"