Thursday, April 25, 2024

General line - 0115112241

මහමගදී රියදුරන් පරීක්ෂා කෙරෙන අලුත්ම වැඩපිළිවෙල

සජිත් තිලකරත්න




මහමගදී රියදුරන්ගේ ලෙඩ පරික්ෂා කිරීම සඳහා අලූත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනය සූදානම් වනවා.

ඒ, රිය අනතුරු අවම කර ගැනිමේ තවත් එක් පියවරක් ලෙසයි.

රියදුරු බලපත‍්‍රය ලබා ගැනිමේදී අදාළ පුද්ගලයින්ගෙන් වෛද්‍ය වාර්තා ලබා ගැනීමක් සිදු වනවා. එසේ නම් යළිත් වරක් මෙවැනි පරික්ෂා කිරීමක් සිදු කිරීමේ අරමුණ කුමක්දැයි  ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාරගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී සඳහන් කෙරුණේ "රියදුරු බලපත‍්‍රය ලබා ගැනිමේදී අදාළ පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදී ඔවුන් අවශ්‍ය කරන සෞඛ්‍ය තත්ත්වයේ සිටියත් පසුකාලීනව  ඔවුන් රියදුරන් ලෙස කටයුතු කිරීමේදී ඒ පිළිබඳව සැළකිළිමත් නොවන තත්ත්වයක් දැකගත හැකියි. උදාහරණයක් ලෙස ඇස් පෙනීම සම්බන්ධව, රුධිර පීඩනය සම්බන්ධව, දියවැඩියාව සම්බන්ධව ඒ මොහොතේ ලබා ගන්නා නිර්ණායක පසුකාලීනව වෙනස් වනවා." යනුවෙනි.

ඒ අනුව පසුකාලීනව ඒ සම්බන්ධයෙන් රියදුරන් සැළකිලිමත් වී යම් පාලනයක සිටින්නේදැයි සොයා බැලීම මෙම ක්‍රියාවලියේ අරමුණ බවත් සඳහන් කළා. පසුගිය කාලසීමේදී සිදු වූ අනතුරුවලදී, අනතරු සිදු කළ රියදුරන් ගෙන පරීක්ෂා කිරීමේදී ඔවුන් මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් බව අනාවරණය වී ඇති බවද සඳහන් කළා. 

මෙම නව වැඩපිළිවෙල හරහා රෝග ඇති බවට හඳුනාගන්නා රියදුරන්ට නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු ද සම්පාදනය කරන බවයි ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය 
රෝහණ පුෂ්පකුමාර නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මහමගදී රියදුරන්ගේ ලෙඩ පරික්ෂා කිරීමේ මෙම නව වැඩපිළිවෙල ලබන වසරේ මුල සිට ආරම්භ කිරීමට අපේක්ෂිතයි.