Tuesday, April 23, 2024

General line - 0115112241

විත්ති කූඩුවේ සිට ජොන්ස්ටන් අධිකරණයට කළ ප්‍රකාශය

අධිකරණ වාර්තාකරු




අඛන්ඩව වසර තුනක කාලයක් වත්කම හා බැරකම් ප්‍රකාශ ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු සමූපකාර හා අභයන්තර වෙළද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩු 3 ක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (23) කැඳවනු ලැබුවා.

මෙම නඩු අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍යවරයා විත්ති කූඩුවේ සිට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරනු ලැබුවා.

එම ප්‍රකාශය තුළින් හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ 2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව අමාත්‍ය ධූරයක් ලබා ගෙන රජයට එක්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් තමන්ට ආරාධනයක් ලැබුණු බවයි.

එම ආරාධනාව තමන් ප්‍රතික්ෂේප කිරීම නිසා දේශපාලන පළිගැනීමක් වශයෙන් මෙම නඩු පැවරීමට අල්ලස් කොමිසම කටයුතු කර ඇතැයි සඳහන් කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු 2010 වසරට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශය තමා ජනාධිපති කාර්යාලය වෙත භාරදී තිබූ බව ද කියා සිටියා.

මෙම නඩු සම්බන්ධයෙන් වැඩිදුර විභාගය අගෝස්තු  මස 28 වැනිදා සිදු කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක තීරණය කළා.

2010 වර්ෂයේ සිට 2014 දක්වා කාලයේ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වු බවට අල්ලස් කොමිසම හිටපු අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරා තිබෙනවා.