Wednesday, April 24, 2024

General line - 0115112241

මඩු දේවස්ථානය සංහිඳියාවේ මධ්‍යස්ථානයයි - අගමැති




මඩු දේවස්ථානය රටේ ප්‍රධාන ආගමික සිද්ධස්ථානයක් පමණක් නොව එය රටේ සංහිදියාව ගොඩනගන ප්‍රධානතම ස්ථානයක්ද වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) දින මරද මඩු දේවස්ථානයේදී පැවසීය. යුද්ධය පැවැති කාලයේදීත් රටේ සියලූම දෙනාට මඩු පල්ලියේ පිහිට ආරක්ෂාව ලැබුණු බවත්, සැමවිටම භේදවලින් තොරව ලක්වාසීන් පැමිණෙන සංහිදියාවේ මධ්‍යස්ථානයක් ලෙස මඩු දේවස්ථානය හැදින්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මඩු දේවස්ථානයේ වාර්ෂික උත්සවයේ අවසන් මංගල්‍යයට රාජ්‍ය නායකයෙක් සහභාගී වූ දෙවැනි අවස්ථාව මෙය බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නා. මීට ප්‍රථම රණසිංහ ප්‍රේමදාස මහතා මෙම මංගල්යය අවස්ථාවට සහභාගී වී තිබේ.

පූජාවෙන් අනතුරුව මරද මඩු මෑණියන්ගේ පිළිරුව විදි සංචාරය සඳහා ගෙන යාමට පෙර, අගරදගුරුතුමන් ප්‍රධාන පූජක පක්ෂියේ ඉල්ලීම මත අග්‍රාමාත්‍යතුමා රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යත පිරිස ඇමතීය.

"මඩු මාතාව සමරන මෙම උත්සවය ඉතා වැදගත් උත්සවයක්. එය කතෝලික සභාවට පමණක් සීමා වී නැහැ. එය සියලූදෙනා සමරන උත්සවයක් බවට පත්වී තිබෙනවා. මඩු පල්ලිය යනු අද රටේ සියලූම දෙනා පිළිගෙන තිබෙන ආගමික ස්ථානයක්. යුද්ධ කාලයේදීත්, අනෙක් සියලූම අවස්ථාවලදීත් සියලූදෙනාටම මේ ස්ථානයේ සරණ, පිහිට ලැබුණා. අද ඔබ මෙම ස්ථානයට පැමිණ තිබෙන්නේ මඩු මාතාව වෙනුවෙන් යාඥා කරමින් තමන්ගේ බලාපොරොත්තු ප්‍රකාශ කිරීමට සහ දෙවියන් වහන්සේගේ කරුණාව ලබා ගැනීමටයි.  ප්‍රධාන ආගමික විශ්වාසයක් සහිත ස්ථානයක් පමණක් නොව සංහිදියාවේ මධ්‍යස්ථානයක් ලෙසද මෙම මඩු දේවස්ථානය හැදින්විය හැකියි. වසර 30 ක යුද්ධයකින් අප අතර ගැටුම් ඇති වූ අවස්ථා තිබුණා. අපි එකිනෙකා මරා ගත් අවස්ථා තිබුණා. එසේ නම් මෙවැනි උත්සව හරහා අපිට සංහිදියාව ඇති කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙවැනි උත්සව දෙකක් මේ මාසයේ තිබෙන බව සිහිපත් කළ යුතුයි. ඉන් එකක් උතුරේ මෙම මඩු දේව මෙහෙයයි. දෙවැන්න දකුණේ කතරගම පෙරහැර සමයයි. උතුරේ සිට ජනතාව කතරගමටත්, දකුණේ සිට ජනතාව උතුරටත් පැමිණෙනවා. එහිදී බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි කියා භේදයක් නැහැ. යුද්ධයට මැදිව තිබූ මෙම මඩු පල්ලිය යුද්ධයට මැදි වූ ජනතාවට සරණක් ලබා දුන්නා. ජනතාවගේ විශාල විශ්වාසයක් ඒ කෙරෙහි තිබෙනවා. එසේ නම් දෙවියන් වහන්සේගේ දයාව ඔබ සියළු දෙනාටම ලැබේවා. සෑම ආගමකින්ම පෙන්නුම් කරන්නේ දයාව සහ අනුකම්පාවයි. නමුත් අවාසනාවකට අපේ ඇතැම් අය මෙය අර්ථකථනය කරන ආකාරය වැරැදියි. ඔවුන් දයාව, අනුකම්පාව, වෛරය බවට පත් කර ගන්නවා. අප ඊට ඉඩදිය යුතු නෑ. අද අපේ රටේක්‍රිස්තු භක්තිකයින්ට තම ආගම ඉගැන්වීම් ඉදිරියට කරගෙන යාමට සහ ආගමික කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පහසුකම් ඉදිරියේදී ලබා දීමට අප කටයුතු කරනවා. ඔබ සියලූ දෙනාගේම එකතුවීමෙන් අපේ ශ්‍රී ලංකාවට දෙවියන් වහන්සේගේ දයාව ලබාදේවා යැයි මම අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා."