Friday, April 19, 2024

General line - 0115112241

ගංවතුර පාලනයට අලුත්ම ව්‍යාපෘතිය ඇරඹෙයි (PHOTOS)




අධික වර්ෂා සමයේ දිනයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින බරපතල ගැටලුවක් වන්නේ ගංවතුර තර්ජනයට මුහුණ දීමයි.

මෙම ගැටළුවට ස්ථිරසාර හා විද්‍යානුකූල විසදුමක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව යන්ත‍්‍රානුසාරයෙන් ජලය මුහුදට පොම්ප කිරීමේ විශේෂ පද්ධතියක් ස්ථාපිත කිරීම මේ යටතේ සිදු කෙරෙනවා.

විශේෂයෙන් වෙන්නප්පුව, කොලොන්ජාඩිය ඇතුළු ඒ අවට ප‍්‍රදේශ නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට ලක්වන අතර මෙම ව්‍යාපෘතිය පළමුවරට ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වනවා. 

කොලොන්ජාඩිය, රන්දියගම ගංවතුර පාලන ව්‍යාපෘතිය අඟල් අටක විෂ්කම්භය සහිත නල මාර්ගයක් ඔස්සේ ජලය මුහුදට පොම්ප කිරීම සිදු කෙරෙනවා. ළිං හතක් ඉදිකරමින් එම ළිංවලට එකවන ජලය මුහුදට පොම්ප කිරීමට සැලසුම් කර ඇත්තේ යන්ත‍්‍රානුසාරයෙන්. ඒ වෙනුවෙන් වූ නල මාර්ගය රන්දියගම සිට මුහුද දක්වා කිලෝමීටර් දෙකහමාරක දුරක් පොළව අභ්‍යන්තරයෙන් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. 

ආපදා කළමනාකරණය වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘතියක් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මකව වන පළමු අවස්ථාව මෙයයි. 

සමස්ථ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුදල රුපියල් ලක්‍ෂ 65 ක්. එමගින් නිරන්තරයෙන් ප‍්‍රවාහන පද්ධතිය අවහිර වීම වැලකෙන අතර, නිරන්තරයෙන් ගංවතුරෙන් පීඩාවට පත්වන පවුල් 300 ට පමණ සෙත සැලසෙනවා.

වාරිමාර්ග හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ ප‍්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් ආරම්භ කෙරුණා. 

ඉදිරියේදී වැව්, පොකුණු, ජලාශ හා ගංගා ඉහළ සිට පහලට පෙළ ගස්වමින් ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම සමස්ථ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමෙන් මිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව උදාවන බවද ඔහු පැවසුවා.