Friday, April 26, 2024

General line - 0115112241

"තමන් උපන්නේ දෙමළ බිමක බව දකුණේ ජනතාවට අමතක වෙලා" - විජයකලා

දිනසේන රතුගමගේ




තමන් කළ ප්‍රකාශයක් මුල් කරගෙන තමන්ගේ රාජ්‍ය අමාත්‍ය ධුරයද අහෝසි කොට පවත්වන ලද කිසිම පරීක්ෂණයක් සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරිය පවසනවා. ඊයේ (19) සවස යාපනයේදී ඇය මේ බව සඳහන් කළා.

යුද්ධයෙන් පීඩාවට පත් යාපනයේ කාන්තාවන් පිරිසක් සඳහා ජීවනාධාර ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව පවසමින් තවදුරටත් කියා තිබුණේ තමන් වෙනුවෙන් පවත්වන ලද සියළුම පරීක්ෂණ ගැන තමන් කණගාටුවන බවයි.

යාපනයේ පැවති උත්සවයකදී තමන් අතීතයේදී උතුරු පළාත පැවති අන්දමත් ඒ සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියා කළ අන්දමත් විස්තර කළා මිස රාජ්‍ය විරෝධී යමක් ප්‍රකාශ නොකළ බවයි විජයකලා මන්ත්‍රිවරිය මෙහිදී කියා සිටියේ.

තමන් කළ ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ අනවශ්‍ය ලෙස විකෘති කරමින් ඊට විශාල ප්‍රචාරයක් ලබා දීම නිසා තමන්ට මෙවැනි ඉරණමක් අත් වූ බව පැවසූ මන්ත්‍රිවරිය තමන් උපත ලැබුවේ උතුරේ දෙමළ බිමක බව දකුණේ ජනතාව අමතක කළ නිසාවෙන් මෙවැනි විනාශයක් සිදු වූ බවද කියා සිටියා.

තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කොට සමාව අයැද සිටියත් අනවශ්‍ය අන්දමට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද්දේ සිංහල බෞද්ධ බලවේගවල බලපෑම නිසා බව පවසන මන්ත්‍රිවරිය උතුරේ ජනතාව තමන්ව විශ්වාස කොට තමන් සමග රැඳී සිටීම පිළිබඳව විශාල ආඩම්බරයක් හටගෙන ඇතැයිද මෙහිදී කියා සිටියා.