Friday, April 26, 2024

General line - 0115112241

‘‘නිර්වස්ත‍්‍රං පරමං සුඛං’’ සහ ‘‘තරුවන් සරණයි’’ ගැන අනුග්‍රහකයා පිළිතුරු දෙයි

හේමන්ත කහවලගේ




තමන් විසින් අනුග‍්‍රහය දක්වන රේඩියෝ නාට්‍ය මාලාවකින් බුදු දහමට නිගා කර ඇතැයි සිදු කෙරෙන චෝදනාවලට ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. මෙම කාර්යංශය ක‍්‍රියාත්මක වන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතීත්වයෙන්. 

ප‍්‍රශ්නගත නාට්‍ය මාලාවේ ඇතැම් නාට්‍ය ‘‘නිර්වස්ත‍්‍රං පරමං සුඛං’’ සහ ‘‘තරුවන් සරණයි’’ වැනි යෙදුම්වලින් නම් කර ඇතැයි ද එමගින් බෞද්ධ යෙදුම් විකෘති කර ඇතැයි ද චෝදනාවල දැක්වුණා.

මීට ප‍්‍රතිචාර දක්වමින් ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය පවසන්නේ මෙම නාට්‍ය මාලාව සම්මානනීය අධ්‍යක්‍ෂවරයෙකු වන මාලක දේවප‍්‍රිය විසින් රචනා කර ඇති බවයි. අධ්‍යාත්මික පරිහානිය නිසා ශ‍්‍රී ලාංකේය සමාජයේ ඇති වී තිබෙන ගැටළු එහිදී ගැඹුරින් විචාරය කර ඇතැයි ද, ඒ බව සැලකිල්ලට ගෙන තමන් ඊට අනුග‍්‍රහය දැක්වූ බවද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

එසේ නොමැතිව බුදු දහමේ හරයන් සහ වටිනාකම් විකෘති වන කිසිවකට අනුග‍්‍රහය දැක්වීමට තරම් තමන් අමනෝඥ නොවන බවයි ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය වැඩිදුරටත් පවසන්නේ. ඒ අනුව මෙම නාට්‍ය මාලාව සම්බන්ධයෙන් කෙරෙන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද ඔවුන් කියා සිටියා.

කෙසේ වෙතත් ඇතැම් නාට්‍යවලට යොදා ඇති නම් ශබ්දාර්ථයෙන් වෙනත් යෙදුම් සමග සමපාත වන බවට කිසිවෙකුට හෝ හැඟී යන්නේ නම් ඒ පිළිබඳ කණගාටු වන බවයි ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය පවසන්නේ.

විවාදාත්මක නම් කිහිපයක් වෙනස් කිරීමට තීරණය කළ බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 

මෙම නාට්‍ය මාලාව පිළිබඳ පළමු වරට චෝදනාවක් කළේ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින්. ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ද ඊට ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී "දේශපාලනය කරන හාමුදුරුවන් කියන ඒවා නම් වැඩිය ගණන් ගන්නේ නෑ..අපේ ආණ්ඩුව තමයි බෞද්ධාගමට සම්පූර්ණ නියමාකාර තැන දීලා තියෙන්නේ. සැබෑ බෞද්ධයන් හැටියට අපි කණගාටුවට පත් වෙනවා සමහර චීවරධාරීන් බෞද්ධාගම තමන්ගේ පෞද්ගලික උවමනාව සඳහා විවෘති කිරීම ගැන." යනුවෙන් සඳහන් කළා

මේ අතර ආන්දෝලනයට ලක්ව තිබෙන ‘‘ බුදුන්ගේ රස්තියාදුව’’ ග‍්‍රන්ථය සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම ග‍්‍රන්ථය මගින් බුදු දහම නිගාවට ලක්කර ඇති බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. දණ්ඩනීති සංග‍්‍රහය යටතේ එහි කර්තෘවරයා, ප‍්‍රකාශකයන්, බෙදාහරින්නන් සහ අලෙවි කරන්නන් සාපරාධි වරදක් සිදු කර ඇතැයි ද ඒ අනුව ඔවුන්ට නඩු පැවරිය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.