Thursday, April 25, 2024

General line - 0115112241

ඇසළ පෙරහැර නරඹන්න යන ජනතාවට විශේෂ දුම්රිය සේවා

හේරත් ඒකනායක/කමල් සුරවීර/පසන් වික්‍රමතිලක




මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ රන්දෝලි පෙරහැර අද (21) ආරම්භ වනවා.

අද සිට දින 05ක් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.

කුඹල් පෙරහැරට එක් නොවූ නර්තනාංග කිහිපයක්ම රන්දෝලි පෙරහැරට එක්කෙරෙනවා. 

මේ අතර ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේට ගෞරවාන්විත ලෙස පෙරහැර නරඹන ලෙසයි ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියේ. පරිසරයට හානි නොකරන ලෙසද මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරුණා.  

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාද අද සිට ආරම්භ වනවා.  ඒ පිළිබඳ කරුණු දැක්වූ දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී, ආචාර්ය විජය සමරසිංහ පැවසුවේ අද දින පෙරවරු 9.50ට ධානවය වෙන විශේෂ දුම්රිය පස්වරු 1.15ට මහනුවරට ළඟා වෙන බවයි.

අද රාත්‍රි 11.45ට මහනුවරින් පිටත් වන දුම්රිය පසුදින (22) පෙරවරු 3.01 කොළඹ කොටුවට ළඟා වෙන බවද සඳහන් කළා. මීට අමතරව අද දින සිට 25 වැනිදා දක්වා මහනුවරින් රාත්‍රි 11.55ට පිටත්වෙන දුම්රියක් නාවලපිටියට පසුදින පෙරවරු 1.09ට ළඟා වෙන බවද සඳහන් කළා. තවද මහනුවර සිට මාතලේ දක්වාත් මාතලේ සිට මහනුවර දක්වාත් විශේෂ දුම්රිය සේවා මෙම දින කිහිපය මුළුල්ලේම ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බවද පෙන්වා දුන්නා. 

පෙරහැර නැරඹීමට දුම්රියෙන් මහනුවරට යන මගීන්ගෙන් මෙහිදී විශේෂ ඉල්ලීමක් ද කෙරුණා. ඒ අනුව නාඳුනන පුද්ගලයින් දෙන ආහාර පාන ලබාගැනීමෙන් වලකින ලෙසත්, දුම්රිය පා පුවරුවේ ගමන් කිරීමෙන් වලකින ලෙසත් මැදිරි දෙකක් අතර කොටසේ ගමන් කිරීමෙන් වලකින ලෙසත් දන්වා සිටිනවා. 

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවෙන්.